රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් සමාප්ති උළෙල අද | දිනමිණ


 

රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් සමාප්ති උළෙල අද

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව පසුගිය පළමුවැනිදා (01) සිට දින පහක් පුරා ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අද (06) පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙහි දී ඉඩම් හිමිකම් පත් ප්‍රදානය කිරීම කෘෂි උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පත්මකුලසූරිය මහත්මිය පැවැසුවාය.

මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, බුත්තල, කතරගම, මඩුල්ල, දබගල්ල, මැදගම, මොනරාගල, සෙවනගල, සියඹලාණ්ඩුව, තණමල්විල, වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහ තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සිවු වන දිනය වන (04) පෙරේදා දිනය වන විට දින හතරක් තුළ විවිධ වූ වැඩසටහන් 1043ක් ක්‍රියාත්මක කර ප්‍රතිලාභීන් 85.376කට ප්‍රතිලාභ ලබා දී තිබූ අතර, එහි පස් වැනි දිනය වන (05) ඊයේ දිනය වන විට ව්‍යාපෘති 1091ක් ක්‍රියාත්මක කර අනූතුන් දහස් හත්සිය අසූ අටක් (93.788) ප්‍රතිලාභ ලබා ඇති අතර, මේ ව්‍යාපෘති 1091 ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 42.05ක මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඇත.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 165ක් ද මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 150ක් ද මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 115ක් ද බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 105ක් ද තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 104ක් ද බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 100ක් ද මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 80ක් ද සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 79ක් ද සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 74ක් ද වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 72ක් ද සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන් 47ක් ලෙස වැඩසටහන් 1091ක් මොනරාගල දිස්ත්‍රිකය පුරාම ක්‍රියාත්මක කර ඇත.

ඊයේ (05) දිනය තුළ වැඩසටහන් 352ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් අතර ග්‍රාම ශක්ති වැඩසටහන් 32ක් ද වකුගඩු නිවාරණ වැඩසටහන් 94ක් ද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් 236ක් ද පරිසර සංරක්ෂණ වැඩසටහන් 12ක් ද දරුවන් සුරකිමු වැඩසටහන් 19ක් ද ආබාධ සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන් 10ක් ද ජනපතිට කියන්න වැඩසටහන් 11ක් ද මේ වැඩසටහන තුළින් ආවරණය වන අතර, මීට අමතරව ඌව පළාත් සභා අමාත්‍යාංශ මගින් වැඩසටහන් 185ක් ද විවිධ රේඛීය අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන මගින් වැඩසටහන් 1230ක් ද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන් අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතව ඇත.

මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහට අයත් ජනතාවගේ සෞඛ්‍ය පාරිසරික වෘත්තීය ඉඩම් හා නිවාස මෙන්ම පරිපාලන අවශ්‍යතාවන්ට විසඳුම් ද ලබා දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඌව පළාත් සභාව හා මධ්‍යම රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන උත්සවය අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල මහජන ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන අතර, එහි දී ප්‍රදේශයේ තරුණ තරුණියන්ට වෘත්තීය හා තාක්ෂණ මාර්ගෝපදේශන සැපයීම සඳහා ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදි කළ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම මෙන්ම වැල්ලවාය රෝහලේ ඉදි කළ වකුගඩු ඒකකය හා මොනරාගල රෝහලට උපකරණ බෙදාදීමක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කිරීමට නියමිතව ඇත.

අරුණ ඩයස්

නව අදහස දක්වන්න