ඒ ට්‍රම්ප් සහ මේ ට්‍රම්ප් | දිනමිණ

ඒ ට්‍රම්ප් සහ මේ ට්‍රම්ප්

ධම්මික සෙනෙවිරත්න

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයා දැඩිව විවේචනය කළ අයකු වන අතර ඔහු හැඳින්වූයේ ‘රොකට් මෑන්’ යනුවෙනි. එසේ තිබියදී ඉකුත් වසරේ ජුනි මාසයේදී ලොව මවිත කරවමින් ඔවුහු හමුවූහ. සිංගප්පූරුවේදී හමුව අවසානයේ නායක දෙපළ කෙටි ඒකාබද්ධ ප්‍රකාශයකටද අත්සන් තැබූහ. කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික අවිහරණය සඳහා ක්‍රියාකරන බව එහි දැක්විණි. මීට පෙරද දෙරට අතර එවැනි එකඟතා ඇතිවී තිබුණද ඒවා සාර්ථක නොවීය. මෙම හමුවෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා ගැන කතා කළේ ප්‍රසාදයෙනි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටී. ලබන වසරේදී පැවැත්වෙන මැතිවරණය අරමුණු කර ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය දැනටමත් ආරම්භ කර ඇති අයුරු දැකිය හැකිය. මේ වනවිට දෙස් විදෙස් දේශපාලන කරළියේ ට්‍රම්ප්ගේ හැසිරීම හා භූමිකාව වෙනදා මෙන් අනම්‍ය ස්වභාවයක් නොගැනීම කැපී පෙනෙන කාරණයකි.

“ඔවුන්ට හමුවීමට නොහැකි වුණා. කවුරුන් හෝ එකිනෙකා හමුවූයේ නෑ. ජනාධිපති ඔබාමාට වුවමනා වුණත් සභාපති කිව්ව වුවමනාවක් තිබුණේ නෑ. ඔබාමා පාලනය හමුවීමට ඉල්ලීම් කළා. නිරන්තරයෙන් ඉල්ලීම් කළා. ඒත් සභාපති කිම්, ඔබාමා හමුවුයේ නෑ. කිසියම් හේතු කාරණා නිසා දැන් අප හමුවී තියෙනවා. මෙතැන මොකක් හරි දෙයක් ඇති.”

බොරුවක් ගැන සැකයක්

ජනාධිපති ට්‍රම්ප් එම ප්‍රකාශය කළේ ඉකුත් 30 වැනිදා සෝල් නුවරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඒ උතුරු - දකුණු දේශසීමාව හරහා ගොස් යුද ත්‍රස්ත කලාපයේදී උතුරු කොරියා නායක කිම් ජොං උන් මුණගැසීමෙන් අනතුරුවය. ට්‍රම්ප් ‍ෙග් එම ප්‍රකාශය සත්‍ය තොරතුරු මත පදනම් වී ද නොවීද යන්න ගැන මේ දිනවල සාකච්ඡා වෙමින් ඇත. ඔබාමා පාලනය සමයේ මුල් පෙළේ අමෙරිකානු නිලධාරීන් ගණනාවක්ම ජනාධිපති ඔබාමා එවකට උතුරු කොරියා නායකයා හමුවීමට එවැනි ප්‍රයත්නයක යෙදුණු බවක් තමන් නොදන්නා බව කියා සිටී. උතුරු කොරියාව වෙතින්ද එවැනි තහවුරු කිරීමක් සිදුවී නොමැත. ඒ කෙසේ වුවද අමෙරිකා - උතුරු කොරියා නායකයන් අතර මෙම හමුවීම සුවිශේෂී එකක් බව බැහැර කළ නොහැකිය. එවැනි හමුවක් සිදුවනු ඇත්තේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආයුධවලින් නෙරවූ පසුව යැයි පිළිගැනීමක් තිබිණි. එහෙත්, එය ඉක්මන් විය. මෙවැනි පියවරක් තැබීම මඟින් උතුරු කොරියා නායකයා තුළ විශ්වාසයක් ඇතිකිරීම මෙන්ම ඔහු එදෙසට නැඹුරු කිරීම ජනාධිපති ට්‍රම්ප් ගේ අභිලාසය වන්නට ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය.

ට්‍රම්ප් හා කිම් ජොං උන් අතර වූ මේ හමුවීම දෙරටටම වැදගත්වනු ඇත්තේ බලයේ සිටින අමෙරිකා ජනාධිපතිවරයකු උතුරු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව මෙය වන බැවිනි. වසරක කාලයක් තුළ නායක දෙපළ හමුවූ තුන්වැනි අවස්ථාව මෙයයි.

ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයා දැඩිව විවේචනය කළ අයකු වන අතර ඔහු හැඳින්වූයේ ‘රොකට් මෑන්’ යනුවෙනි. එසේ තිබියදී ඉකුත් වසරේ ජුනි මාසයේදී ලොව මවිත කරවමින් ඔවුහු හමුවූහ. සිංගප්පූරුවේදී හමුව අවසානයේ නායක දෙපළ කෙටි ඒකාබද්ධ ප්‍රකාශයකටද අත්සන් තැබූහ. කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික අවිහරණය සඳහා ක්‍රියාකරන බව එහි දැක්විණි. මීට පෙරද දෙරට අතර එවැනි එකඟතා ඇතිවී තිබුණද ඒවා සාර්ථක නොවීය. මෙම හමුවෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා ගැන කතා කළේ ප්‍රසාදයෙනි. දෙදෙනාම හිතුවක්කාර චරිත වීමද එම හමුව ඵලදායී එකක් බව පෙනීමට බලපාන්නට ඇත.

නායක දෙපළ අතර දෙවැනි හමුව සිදුවූ‍ෙය් වියට්නාමයේ හැනෝයි නුවරදී ය. පළමු හමුවේදීම ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඔවුන් වරින්වර යළි හමුවනු ඇති බවය. එහෙත්, ඔහු උතුරු කොරියාවට ඉක්මනින්ම යනු ඇතැයි අපේක්ෂා නොකෙරිණ.

බිඳවැටුණු එකඟතා

ඔබාමා පාලන සමයේදී මෙන්ම බිල් ක්ලින්ටන් සමයේ දී ද න්‍යෂ්ටික බලාගාර අත්හිටුවීමට එකඟතා ඇති වුවද ඒවා බිඳවැටිණි. ක්ලින්ටන් සමයේ ඇතිවූ එකඟතාව බුෂ් පාලන සමයේදී බිඳ වැටිණි. උතුරු කොරියාව පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම කළේ ද බුෂ් බලයේ සිටියදීය. ට්‍රම්ප් බලයට පත්වූ පසුව ද

උතුරු කොරියාව කියා සිටියේ තමන්ට අමෙරිකාවට පහරදීමට වුවද හැකි න්‍යෂ්ටික බලයක් ඇති බවය.

ලෝක අවධානය ඊටත් වඩා දිනාගත් තවත් හමුවක් ජනාධිපති ට්‍රම්ප් ඉකුත් සතියේ උදාකර ගත්තේය. ඒ රුසියානු ජනාධිපති විලැදිමිලර් පුටින් හමුවීමය. ජි - 20 සමුළුවට සමගාමීව අමෙරිකා - රුසියා නායක දෙපළ අතර එම හමුව ජපානයේදී සිදුවිය. ජාත්‍යන්තර මාධ්‍ය එය වාර්තා ක‍ෙළ් ජන්දෙට මැදිහත් වෙන්න නම් එපා’ යනුවෙන් ට්‍රම්ප්, පුටින්ට විහිළුවක් කළ බව දක්වමිනි. මේ හමුව වඩා වැදගත් වන්නේ එකී විහිළුවට පදනම් වූ පසුබිම සමඟ සම්බන්ධයක් ඇති බැවිනි. ඉකුත් ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වාසි සහගතවන පරිදි රුසියාව මැදිහත් වූ බව පළවිය.මේ පිළිබඳ සිදු කළ විමර්ශනය කළ මුලර් වාර්තාව මෑතකදී නිකුත් වූ අතර ඉන්පසු අමෙරිකා - රුසියා නායකයන් අතර පළමු හමුවීම මෙයය.

ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වූ බවට පළවූ වාර්තා ගැන පුටින් සමඟ සාකච්ඡා කළේදැයි ට්‍රම්ප්ගෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්න සියල්ල මඟහැරීමට තරම් ඔහු දක්ෂ විය. රුසියාව, අමෙරිකානු බුද්ධි අංශ වෙතින් එල්ල වූ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. ඉකුත් වස‍ෙර්දී හෙල්සිඒක් නුවරදී ද ට්‍රම්ප් සහ පුටින් හමුවූහ. මේ කාරණය පිළිබඳ පුටින්ගේ ස්ථාවරයේම ට්‍රම්ප් ද සිටින බව පැහැදිලි විය. මේ ගැන කතා කරන මෙන් එවරද ඔහු පුටින්ට කිසිදු බලපෑමක් කළේ නැත. 2018 දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ට්‍රම්ප් මේ ගැන අදහස් දැක්වූයේ “රුසියාව එවැනි රටක් නොවේයැයි ජනාධිපති පුටින් කියා තිබෙනවා...” යනුවෙන් පවසමිනි. ඉකුත් සතියේදී නායක දෙපළ අතර සිදුවූ හමුවීමට ප්‍රථම ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට කෙළින්ම පිළිතුරු දුන්නේ “ඉතා හොඳ සංවාදයක්” තමන් අතර සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව පවසමිනි. එහෙත් සාකච්ඡා කරන්නේ මොනවාදැයි ඔහු නොකී‍ෙව් “එය ඔබට අයිති වැඩක් නොවේ” යැයි කියමිනි.

අවි පාලනය සම්බන්ධයෙන් 21 වැනි සියවස ආදර්ශයක් කිරීම පිණිස තමන් අතර සාකච්ඡා දිගටම සිදුවනු ඇතැයි ජනාධිපතිවරු එකඟ වී සිටිති. මෙම හමුවේදී ඉරානය, සිරියාව, වෙනිසියුලාව හා යුක්රේනය මාතෘකා වන්නට ඇති බව වාර්තා වී තිබේ.

පියවරක් පසුපසට

අමෙරිකා - චීන වෙළෙඳ යුද්ධයට අදාළව යම් සුබවාදී පියවර තැබීමක්ද ජී - 20 සමුළුවට සමගාමීව සිදුවිය. ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ෂීජිංග් පිංග් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව චී ආනයන මත ඇ. ඩො. බිලියන 300ක අතිරේක තීරුබදු අයකිරීමට ට්‍රම්ප් ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ඔහු එකඟ විය. ඒ සමඟ හුආවෙයි දුරකථනවලටද යළි අමෙරිකා වෙළෙඳ පොළ විවෘත වී තිබේ. කෙසේවුවද යම් සම්මුතියක් ඇතිවනතුරු යම් භාණ්ඩ මත තවදුරටත් තීරුබදු ක්‍රියාත්මකය. චීනය කියා සිටින්නේ ‍ෙව‍ළෙඳ යුද්ධයකට හේතුවූ මෙම තීරුබදු සියල්ල ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගත යුතු බවය. ඇ. ‍ෙඩා. බිලියන 250ක තීරුබදු තවදුරටත් ක්‍රියාත්මකව පවතින අතර එයද ඉවත් කිරීමෙන් පසුව යම් සම්මුතියකට එළැඹීමට සූදානම් බව චීනය කියා සිටී. මෙහිදී ජනාධිපති ට්‍රම්ප් පියවරක් පසුපසට ගැනීම සමඟ ඔහු ජනාධිපතිවරණ තරඟ බිමට පිවිස සිටීම බොහෝදුරට සම්බන්ධවිය හැකිය. වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට විසඳාගත යුතු කාරණා ගණනාවක් තිබුණද මෙබඳු පියවරක් තැබීමට හෝ හැකි වූයේ වසරකට පසුවය.

ජී - 20 සමුළුවට සමගාමීවම සිදු වූ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉන්දීය අගමැති මෝදි සමඟ හමුවේදී අමෙරිකානු භාණ්ඩ මත ඉන්දියාව පැනවූ තීරුබදු පිළිගත නොහැකි බව සහ “ඉවත්කළ යුතු බව” ට්‍රම්ප් මෝදිට දැන්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ට්‍රම්ප්, අමෙරිකාවේ සිටින ඉන්දියානුවන්ට පැවසුවේ තම දෙරට හොඳම මිතුරන් වනු ඇති බවය. 2017 දී අගමැති මෝදි වොෂින්ටනයේ කළ සංචාරයේදී ට්‍රම්ප් මෝදි හැඳින්වූයේ “සැබෑ මිතුරකු” වශයෙනි. එහෙත් දෙරටෙහි වාර්ෂික වෙළෙඳ හිඟය ඇ. ඩො. බිලියන 24 ක් තරම් ඉහළ අගයක් ගැනීම මේ මිත්‍රකම්වලට බාධා කරනු ඇති බව පළවිය. ට්‍රම්ප්ගේ තක්සේරුව වන්නේ ඉන්දියාව ඉතා අධික බදු පණවා ඇති රටක් බවය. 2018 මාර්තුවේදී ඉන්දියාවෙන් ආනයනය කරන ඇලුමිනියම් සහ වානේ මත බදු පැණවීමට අමෙරිකාව පියවර ගත්තේය. බුෂ් හා ඔබාමා ජනාධිපතිවරුන්ගේ පාලනය යටතේ අමෙරිකාව, ඉන්දියාවට උපකාර කෙළේ 21 වැනි සියවසේ ලෝක බලවතකු ලෙස ඉන්දියාව නැඟී සිටිය යුතු යැයි පවසමිනි. ට්‍රම්ප් පාලනය යටතේ නැගී එන චීනයද කේන්ද්‍රීය සාධකයක් වී තිබේ. අමෙරිකාවේ ඉන්දු - පැසිපික් උපාය මාර්ගවලට අදාළව චීනය යනු කේන්ද්‍රීය සාධකයකි. මෙහිදී ඉන්දියාවට අමෙරිකාවේ හැසිරීම පිළිබඳ දිගු කාලීන බියක් තිබූ බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. ජනාධිපති ට්‍රම්ප් එය තවත් තීව්‍ර කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරණ ව්‍යාපාරය ඉදිරියට යනවිට මේ තත්ත්වය වෙනස්වීමට වුවද බොහෝදුරට ඉඩ ඇත.


නව අදහස දක්වන්න