මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නි.මාණ්ඩලික ප්‍රධානි ලෙස වැඩ බාර ගනී | දිනමිණ

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නි.මාණ්ඩලික ප්‍රධානි ලෙස වැඩ බාර ගනී

වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා 2019.07.04 වැනි දින නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේදී සුබ මොහොතින් රාජකාරින් භාර ගත්තේය.

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ උපත ලද මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කිංස්වුඩ් විද්‍යාලය මහනුවර, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය රත්නපුර සහ කොළඹ ඉසිපතන විද්‍යාලය වෙතින් උසස් අධ්‍යාපනය හදාරා 1984 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවට කෙඩෙට් නිලධාරිවරයකු වශයෙන් බැදී කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 19 යටතේ යුද්ධ හමුදා විද්‍යාපීඨය - දියතලාව වෙතින් පාඨමාලාව සාර්ථකව හදාරා දෙවැනි ලුතිතන් වරයකු ලෙස 1985.11.16 දින විසිර යාමෙන් පසුව පළමු බලඇණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත අනියුක්තව සේවය කෙළේය.

පසුව එම රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරීවරයකු ලෙසත්, කණ්ඩායම් භාර නිලධාරි අණදෙන ලෙසත් රාජකාරින් සිදු කළ අතර, පසුව 9 වැනි සිංහ රෙජිමේන්තුවේ දෙවැනි අණදෙන නිලධාරී තනතුර හොබවා 1 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස පත්විය, ඉන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ මානි II (පුහුණු) ලෙස රාජකාරින් සිදු කිරිමෙන් පසුව යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්ෂ කාර්යාලයේ මානි I ලෙස ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරින් ඉටු කැර ඇති අතර, 2004 - 2005 වර්ෂයන් තුළ දී 55 වැනි සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුරද හොබ විය.

2005 වර්ෂයේදී 551 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපතිවරයා වශයෙන් පුරා වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළ අතර, 2007 වර්ෂයේ මැද භාගයේදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක ලෙස කටයුතු කැර ඇති අතර, 2007 දෙසැම්බර් මස 21 වැනි දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකවරයා වශයෙන්ද පත්විමෙන් පසුව 2010 ජනවාරි 23 සිට 2013 ජනවාරි 2 දක්වා සුබ සාධන අධ්‍යක්ෂක ධුරයද හොබවා ඇත.

පසුව 51 වැනි සහ 59 වැනි සේනාංක මූලස්ථානයන්හී සේනාංකාධිපති ලෙස කටයුතු කිරිමෙන් පසු යුද්ධ හමුදා ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ඔහු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය චීනය වෙතින් පවත්වන ලද පාඨමාලාව හැදෑරීම සඳහා පිටත්ව ගොස් පැමිණිමෙන් පසුව නැවත 51 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා වශයෙන් පත් කරන ලදි.

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා රණබිමේදී දක්වන ලද ක්‍රියාන්විත දස්කම් මුල් කැර ගනිමින් ඔහු හට රණ වික්‍රම පදක්කම හා රණ ශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. 2017.07.28 වැනි දින ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති ලෙස පත්වීම් ලබා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඔහු මෙම මූලස්ථාන බළ ප්‍රදේශයේ ආගමික ,රාජ්‍ය,ප්‍රජා නායකයින් හා සමිපතා ගොඩනගා ගනිමින් ප්‍රදේශයේ ජීවත් වන සිංහල,දමිළ හා මුස්ලිම් ජනයා අතර සාමය සංහිඳියාව සහ සහජීවනය වර්ධනය කිරිම සඳහා මුල් වී අන් අයටද පූර්වාදර්ශයක් වෙමින් කටුතු කරන ලද ශ්‍රේෂ්ඨ නිලධාරියෙකි.

ඉන් නොනැවතුන මෙම නිලධාරියා ප්‍රදේශයේ ජීවත් වන අඩු ආයම්ලාභි පවුල් වල ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් හට දෙස් විදෙස් දානපතින් සමඟ සම්බන්ධ වෙමින් ශිෂ්‍යාධාර ලබාදීම, නිවස නොමැති අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 6 ක් ඉදිකර ඔවුන් වෙත භාරදී, තවත් නිවාස 4ක් සඳහා මුල්ගල තබා ඇත.

රටේ ඉදිරි අනාගතය බාර ගැනීමට සිටින ප්‍රදේශයේ දරු දැරියන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරිමේ අරමුණින් හේමාස් අවුට්රීචි පදනම සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මන්නාරම , වවුනියාව සැළලිහිණිගම, මහකච්චකොඩිය, නේරියකුලම, රඹෑව,සියඹලෑව සහ අලගල්යන ප්‍රදේශයන්හී පෙර පාසල් ඉදිකිරිම්ද සිදු කරන ලදි.

තවද යුද්ධ හමුදාපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද තුරුලිය වෙනුවෙන් අපි තේමාව යටතේ විනාශ වෙමින් පවතින විල්පත්තුව රක්ෂිතය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන වගා කිරීමේ සංග්‍රාමයේදී කුමුදු පෙරේරා මහතා පෙරමුණ ගෙන කටයුතු කළ රණවිරුවෙකි.

2017.07.28 වැනි දින සිට ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි බල ප්‍රදේශයේ රාජකාරින් බාර ගැනීමෙන් පසු මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා සිදු කළ මෙහෙවර විශිෂ්ඨය. එසේම ආරක්ෂක සේනා මුලස්ථානය වන්නිය පුරා වසර දෙකකට ආසන්න කාලයක් රාජකාරීන් ඉටු කර යුද්ධ හමුදාවේ තුන්වැනි ස්ථානය හිමිවිමෙන් පසු යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තනතුර සඳහා 2019.07.03 වැනි දින ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් නික්ම ගාය අතර 2019.07.04 වැනි දින නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේ රාජකාරින් භාරගත් ගත්තේය.

වවුනියාව උතුර සමූහ


නව අදහස දක්වන්න