ගිවිසුම් විරෝධය ! | දිනමිණ

ගිවිසුම් විරෝධය !

රටට අහිතකර කිසිදු ගිවිසුමක් අස්සන් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා කියා ඇත. ජනාධිපතිවරයා මෙබඳු ප්‍රකාශයක් කරන්නට හේතුව අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අස්සන් තැබීමට නියමිත යැයි කියන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් මතුවන විරෝධය යැයි සිතන්නට පුළුවන. එබඳු ගිවිසුමක් අස්සන් කර නැති අතර ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවක් ද තවම නැත.

එම ආරක්ෂක ගිවිසුම සාකච්ඡා මට්ටමේ පවතින්නේ යැයි කීම වඩා නිවැරැදිය. හෙළිදරව් වන කරුණුවලට අනුව පෙනී යන්නේ ගිවිසුමේ අරමුණ ආරක්ෂක කටයුතු සඳහා රටවල් දෙක සහයෝගයෙන් ක්‍රියා කිරීමය. අමෙරිකාව වැනි දියුණු රටක ආරක්ෂක ක්‍රමවේද හා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගත හැකි නම් එය නිෂ්ප්‍රයෝජන දෙයක් යැයි කිව නො හැකි ය.

ගිවිසුමට විරෝධතාව දක්වන අය මතවාද රාශියක් සමාජගත කර තිබේ. ඒ ඔස්සේ අමෙරිකන් භීතිකාවක් ගොඩනැ‍ඟෙමින් තිබෙන බවද සඳහන් කළ යුතුය. එක මතයකට අනුව ගිවිසුමෙන් පසු අමෙරිකන් හමුදා කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරේ. තව මතයකට අනුව තීරු බදු සෝදිසි කිරීම් හා වෙනත් නීතිවලින් තොරව බඩු ගෙන්වීමේ හා බඩු බැහැර කිරීමේ අයිතිය මෙරට තුළ දී අමෙරිකාවට ලැබේ. තවත් මතයකට අනුව වීසා බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ හා ජීවත්වීමේ අයිතිය අමෙරිකන් පුරවැසියාට ලැබේ. ඔවුන් සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු සිදුකිරීමේ හැකියාවක් ද ශ්‍රී ලංකාවට නැත.

පළමුව සොයා බැලිය යුත්තේ සමාජගත වී ඇති සියලු ප්‍රවාද සත්‍ය කරුණු මත පදනම් වී තිබේ ද යන්න ය. ගිවිසුම සම්බන්ධයෙන් අදහසක් පළ කරන ශ්‍රී ලංකාවේ අමෙරිකන් තානාපතිනිය කියා සිටින්නේ අමෙරිකන් හමුදා කඳවුරක් මෙරටෙහි ස්ථාපනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් හෝ සැලැසුමක් හෝ නැති බව ය. මේ ආරක්ෂක ගිවිසුමෙහි අරමුණ ආපදා අවස්ථාවල දී සාමුහිකව ක්‍රියාකිරීම හා එබඳු අවස්ථාවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට පුහුණුව ලබාදීම යැයි තානාපතිවරිය තවදුරටත් පැහැදිලි කරයි. අමෙරිකන් විරෝධය දේශපාලනික උපාය මාර්ගයක් බවට පත්කර ගත් පිරිසක් අපේ රටේ සිටිති. ඔවුන් තානාපතිනියගේ මතය නොපිළිගන්වා විය හැකි ය.

‍ අමෙරිකන් භීතියක් රට තුළ ව්‍යාප්ත වීමෙන් ප්‍රතිසාධන දෙකක් මතු වෙයි. ඉන් පළමු වැන්න නම්; ස්වදේශිකත්වය ඉහළ නංවා එයින් ඇත්ත සමාජ ප්‍රශ්න යටගැසීමට හැකිවීම ය. දෙවැන්න නම්; විජාතික කුමන්ත්‍රණයක් පිළිබඳව භීතිකාව ඔස්සේ ඊනියා ජාතිවාදී දේශපාලනය යළිත් හිස ඔසවන්නට පටන් ගැනීම ය. මේවා දේශපාලන සැලැසුම් හා උපායමාර්ග ලෙස හඳුනාගත හැකි ය.

මේ වනවිටත් ජාතිවාදී හා ආගම්වාදී ‍දේශපාලනය යම් පමණකින් ක්‍රියාත්මක වෙයි. එහි උපරිමය දැක ගත හැකි වන්නේ මැතිවරණ සමයන් තුළ ය. මැතිවරණ සමයක් ළඟම එයි. මේ අනුව අස්සන් නොකළ ගිවිසුම් ද දැඩි ලෙස විවේචනයට ලක්වනු ඇත.

ඉන්දියාව සම්බන්ධයෙන් ද මෙබඳුම විරෝධතාවක් පැවැතිණි. එය කොතරම් උග්‍ර තත්ත්වයකට පත්වූයේද යත්; ඉන්දියාව නොමිලේ ලබාදුන් ගිලන් රථ සේවය ප්‍රතික්ෂේප කළ යුතු යැයි දැඩි මතයක් සමාජගත විය. එහෙත් ‘සුවසැරිය’ ගිලන් රථ සේවය ආරම්භ විය. අද එය ජනතාවගේ ඉහළම ප්‍රසාදයක් හිමිකරගත් සේවාවක් වන අතර රට පුරා ක්‍රියාත්මක වෙයි. දිනකට සේවය ඉල්ලමින් ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය දෙදහසක් බව කියති. මේ මඟින් බේරාගෙන ඇති ජීවිත ප්‍රමාණය විශාල ය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වරක් කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සූරාකෑමේ කිසිදු අවශ්‍යතාවක් ඉන්දියාවට නැති බව ය. බේසමේ කිඹුලන් දැකීම හැමවිටම පාහේ අවාසි සහගත ය.

අමෙරිකන් විරෝධය තවදුරටත් තහවුරු කරන දේශපාලන විශ්ලේෂකයෝ ඊට චීන අමෙරිකන් ගැටුම ද සාධකයක් කර ගනිති. ඔවුන්ගේ තර්කය වන්නේ චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික ආධිපත්‍යය සඳහා ගෙනයන ව්‍යාපෘතියකට ප්‍රති-ව්‍යාපෘතියක් අ‍මෙරිකන් කඳවුරු ඔස්සේ ගොඩනැගෙන බව ය. කොළඹ වරායේ සිට හම්බන්තොට වරාය තෙක් දිවෙන මහා මාර්ගය ද අමෙරිකන් හමුදාවට පැවරෙන බව ඉහත දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. ප්‍රබන්ධවලින් සාමාන්‍ය ජනතාව මුලාවේ දැමිය හැකි ය. හැඟුම්බර ජනතාව කුලප්පු කළ හැකි ය. “රට පාවා දීම” හා “රටේ සම්පත් විකිණීම” යන බරපතළ මාතෘකා දෙක ද මීට සම්බන්ධ කරගෙන තිබේ. එවිට විරෝධය තවත් උත්සන්න වනු ඇත.

රටක සංවර්ධනය සඳහා ලෝකය සමඟ සාමුහිකව ක්‍රියා කිරීම රාජ්‍ය පාලනයේ පිළිගත් සම්ප්‍රදායකි. මේ අනුව ද්විපාර්ශ්වික කලාපීය, ගෝලීය වශයෙන් ගිවිසුම්වලට එකඟවීමට හා අස්සන් තැබීමට සිදුවේ. දියුණු රටවල් සමඟ අසල්වැසි රටවල් සමඟ හා අන්තර්ජාතික සංවිධාන සමඟ ද ගිවිසුම් අස්සන් කිරීමට සිදුවේ. ඒවා ආර්ථික, දේශපාලනික, ආරක්ෂක, සංස්කෘතික, පාරිසරික, වෙළෙඳ ආදී ක්ෂේත්‍ර මුල්කරගත් ගිවිසුම් විය හැකිය. රටක් මෙබඳු ගිවිසුම්වලට එකඟතාව පළ කරන්නේ ඒ රටේ ස්වාධීනත්වය, ආර්ථික වාසිය හා විදේශ ප්‍රතිපත්තිය සැලැකිල්ලට ගනිමින් ය.

කිසිදු නායකයකු තමන්ගේ රට පාවා දෙමින් ගිවිසුම්වලට අස්සන් තබන්නේ යැයි සිතිය නොහැකිය. එහෙත් ඕනෑම ගිවිසුමක් දේශපාලන දෘෂ්ටියෙන් විවේචනයට හසුකරගත හැකිය.

අමෙරිකා - ශ්‍රී ලංකා ගිවිසුම් තව ම අස්සන් කර නැත. දෙපාර්ශ්වය ම යෝජනා ඉදිරිපත් කරමින් සාකච්ඡාවක නිරත වෙති. මේ සාකච්ඡාවල තත්ත්වය මෙන් ම ගිවිසුමේ යෝජිත වගන්ති ද ජනතාව දන්නේ නැත. ඒවා පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදුවන්නේ නම්; අමෙරිකන් භීතිකාව ව්‍යාප්ත වන්නේ නැත. රජය මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම්; එය වඩා වැදගත් ය. එය දේශපාලන ප්‍රතිවාදීන්ට හොඳ උත්තරයක් ද වනු ඇත.

 


අදහස් 1ක් ඇත

My great pleasure Thank you.

නව අදහස දක්වන්න