ෂර්මාගෙන් වාර්තා පිට වාර්තා | දිනමිණ

ෂර්මාගෙන් වාර්තා පිට වාර්තා

ෆවුස් මොහොමඩ්

‘අපි එංගලන්තයට ආවේ ලෝක කුසලානය අරං යන්න...මෙහෙයුම තවම ඉවර නෑ...’ එසේ කියන්නේ වාර්තා පිට වාර්තා තබමින් පෙරේදා ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කළ ඉන්දිය පිලේ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාය.

ශ්‍රී ලංකා පිලට එරෙහිව ඔහු ලැබූ ශතකයත් සමග ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ තනි තරගමාලාවක ශතක 5ක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්විය. එය ඔහු පිට පිට රැස් කළ තුන්වැනි ශතකය ද විය.

ශතක වැස්සකින් ලෝක කුසලාන තරගමාලාව තෙමා දැමූ 32 හැවිරිදි මේ විශිෂ්ට ආරම්භක පිතිකරුවා විසින් බිඳ දමනු ලැබුවේ පසුගිය තරගමාලාවේදී එනම් 2015 දී කුමාර් සංගක්කාර ශතක 4ක් රැස් කරමින් තැබූ ලෝක කුසලාන තරගමාලා වාර්තාවය. රෝහිත් ෂර්මාගේ මේ අසමසම වාර්තා ගොන්නට එක්වූ තවත් වාර්තාවක් වන්නේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ශතකලාභියාගේ සම වාර්තාවත් ඔහු සතුවීමය. ඊට පෙර ඔහුගේම කණ්ඩායමේ හිටපු සගයා සචින් තෙන්ඩුල්කර් ලෝක කුසලාන තරග 45කදී ශතක 6ක් රැස් කිරීමට සමත්වූ අතර දැන් ෂර්මා ලෝක කුසලාන තරග 16කදී ශතක 6ක් ලබා එම වාර්තාව සම කර තිබේ.

ලෝක කුසලාන තනි තරගමාලාවක වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට පත්වීමට රෝහිත්ට අවශ්‍ය තවත් ලකුණු 26ක් පමණි. එම වාර්තාවට හිමිකම් කියන සචින් තෙන්ඩුල්කර් 2003 තරගමාලාවේදී එම වාර්තාව තැබුවේ තරග 11කට ක්‍රීඩා කරමින් ලකුණු 673ක් රැස් කරමිනි. රෝහිත් ෂර්මා දැනට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 647කි.

‘මම ආවේ වාර්තා තියන්න නෙවෙයි. මම ආවේ සෙල්ලම් කරන්න. කුසලානය මගේ රටට අරගෙන යන්න.’ පෙරේදා ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් පසුව ඔහු මාධ්‍ය හමුවේ එසේ කියා සිටියේය.

‘අපි හොඳ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්. අපි නිතරම හිතන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලයි. කණ්ඩායම් රැස්වීම්වලදී පවා අපි කතා කරන්නේ වාර්තා ගැන නෙවෙයි රට වෙනුවෙන් තරග දිනාගැනීම ගැනයි.’ ඔහු එසේ කීවේය.

‘කොච්චර එක්දින තරග සෙල්ලම් කරලා තියෙනවද...කොච්චර ලකුණු රැස් කරලා තියෙනවද.. කියන ඒවා ගැන මම හිතන්න යන්නෙ නෑ. හැම තරගයක්ම අපිට අලුත් තරගයක්. අපිට රට වෙනුවෙන් රාජකාරියක් පැවැරිලා තියෙනවා. අපි ඒ රාජකාරිය කරනවා. ඒක තමයි වැදගත්ම දේ.’ ඔහු හමුදා නිලධාරියකු මෙන් එසේ කීවේය.

නව අදහස දක්වන්න