ඔස්ට්‍රේලියාවට රිදවමින් තාහීර්ට-ඩුමිනිට ජයග්‍රාහී සමු ගැනීමක් | දිනමිණ

ඔස්ට්‍රේලියාවට රිදවමින් තාහීර්ට-ඩුමිනිට ජයග්‍රාහී සමු ගැනීමක්

ඔස්ට්‍රේලියාවට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තිබූ අවස්ථාව අහිමි කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ පෙරේදා පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ලකුණු 10ක ජයක් අත්කර ගත්හ.

මේ පරාජය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පහත වැටීමට ඔස්ට්‍රේලියාවට සිදුවිය. ඔවුන් තරග 9කදී 7ක් ජයගත් අතර පෙරේදා අත්වූයේ 2 වැනි පරාජයයි.

මේ සමගින් සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ ජේ.පී. ඩුමිනිට සහ ඉම්රාන් තාහීර්ට ජයග්‍රාහී සමුගැනීමක් ලබාදීමට ෆෆ් ඩු ප්ලෙසි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට හැකිවුහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 325ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාවට ඉනිම නිමවීමට පන්දුවක් ඉතිරිව තිබියදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 315ක් පමණි. ලකුණු 326ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඩේවිඩ් වෝනර් මෙවර තරගාවලියේ තෙවැනි ශතකය ලෙස ලකුණු 122ක් රැස් කළේය. 17 වැනි එක්දින ශතකය වු මේ සඳහා පන්දු 117කට මුහුණදුන් වෝනර් හතරේ පහර 15කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගත්තේය. ලකුණු 119කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී ඇලෙක්ස් කෙරී සමග එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ගොඩනැගීමට වෝනර්ට හැකිවිය. වෝනර්ගේ දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර වේගවත් ඉනිමක් දියත් කළ කෙරී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගින් පන්දු 69කින් ලකුණු 85ක් රැස් කළේය. ඉම්රාන් තාහීර්ගේ අවසන් එක්දින කඩුල්ල ලෙස ඔස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් ලකුණු 3කට දැවී ගියේ එඩ්න් මාක්‍රම් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ ෆෆ් ඩු ප්ලෙසි මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකානුවකු වාර්තා කළ ඉහළම ඉනිමට හිමිකම් කියමින් ලකුණු 100ක් රැස් කළේය. හතරේ පහර 7කින් සහ හයේ පහර 2කින් ඉනිම අලංකාර කරගනිමින් පන්දු 94ක් පමණක් වැය කළ ප්ලෙසි, රෙසී වැන් ඩර් ඩුසෙන් සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 151ක සබඳතාවක් පිහිටුවීය. ඩුසෙන් පන්දු 97කින් ලකුණු 95ක් වාර්තා කළේය. ජේ.පී.ඩුමිනිගේ අවසන් එක්දින ඉනිම ලකුණු 14කට සීමා කිරීමට මිචෙල් ස්ටාක්ට හැකිවිය.

නව අදහස දක්වන්න