දේශීය තරග ව්‍යුහය වෙනස් විය යුතුයි | දිනමිණ

දේශීය තරග ව්‍යුහය වෙනස් විය යුතුයි

ෆවුස් මොහොමඩ්

දිමුත් කරුණාරත්න

ඉතා උසස් මට්ටමේ තරග ව්‍යුහයක් යටතේ අයි.පී.එල්. සහ දේශීය තරගමාලා තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකයන් බිහි කරන ඉන්දියාවට මෙන් ශ්‍රී ලංකාවටත් විශිෂ්ට ක්‍රීඩකයන් බිහි කිරීමට නම් දේශීය මට්ටමේ එවැනි තරග ව්‍යුහයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටී.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට අයි.පී.එල්. ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් සහ එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා සහභාගි වීමට අවස්ථාව වැඩි වශයෙන් ලැබෙන්නේ නම් ඔවුන්ට ජාත්‍යන්තර තරග බිමේ දස්කම් දැක්වීමටත්, අතිවිශාල ජනකායක් මැද ක්‍රීඩා කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමටත් හැකිවනු ඇතැයිද දිමුත් සඳහන් කළේය.

‘ක්‍රීඩකයන්ට අත්දැකීම් අවශ්‍යයි. අපි දැනට දේශිය තරගවලට පමණක් සහභාගි වෙලයි ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ. ඒ නිසා අපිට නැවත කණ්ඩායම ගොඩ නගන්නට හොඳ දේශීය තරගාවලියක් වගේම ජාත්‍යන්තර අත්දැකීමුත් අවශ්‍යයි. අපි ආපහු ශ්‍රී ලංකාවට ගියාම හිටපු ක්‍රීඩකයන්ගේ අදහස් අරගෙන, පරිපාලනයත් එක්ක සාකච්ඡා කරලා අපේ තරුණ ක්‍රීඩකයන්ට හොඳ වේදිකාවක් තනා දෙන්න කටයුතු කරනවා.’

ඉන්දීය පිල සමග පෙරේදා ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පරාජයෙන් පසුව මාධ්‍ය හමුවට එක්වූ දිමුත් එසේ කියා සිටියේය. ලෝක කුසලාන තරගමාලාවට පැමිණෙන විට තම කණ්ඩායම ගැන ශ්‍රී ලංකාව තුළ යහපත් ආකල්පයක් නොතිබුණ බවත් ඔහු කීවේය.

‘අපි ලෝක කුසලානයට එනකොට කවුරුත් හිතුවේ නෑ අපි මේ විදියට හරි දස්කම් දක්වාවි කියලා. අපි හයවැනි ස්ථානයෙන් තරගමාලාව නිමා කරාවි කියලා. අපි ඇෆ්ගනිස්තානය එක්ක පවා හොඳට කරයි කියලා හිතුවේ නෑ කවුරුවත්. එහෙම මානසිකත්වයක් එක්කයි අපි මෙහේ ආවේ. සමහර තරගවලදී අපි හොඳට කළා. සමහර තරග වැරදුණා.’

සිය අවසන් ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ ලසිත් මාලිංගට විශිෂ්ට සමුදීමක් ලබාදීමට නොහැකිවීම ගැන ද කනගාටුව පළ කළේය.

‘අපි හැමෝම උත්සාහ කළා මාලිට (මාලිංග) හොඳ සමුදීමක් ලබාදෙන්න. ඒත් අවාසනාවන්ත විදිහට ඒක කරන්න බැරිවුණා. කොහොමවුණත් බංග්ලාදේශ පිල සමග පැවැත්වෙන තරග කිහිපයකට මාලිට එක්වේවි. ඒ තරගවලදී ඔහුට හොඳ සමුදීමක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.’ ලෝක කුසලාන තරගමාලාවට සමුදෙමින් මූලික වටයේ අවසන් තරගයට පෙරේදා එක්වූ ශ්‍රී ලංකා පිල ඉන්දියාව හමුවේ කඩුලු 7ක පරාජයක් අත් විඳ ගත්තේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 264ක් රැස් කළ අතර ඉන්දීය පිලට ජයග්‍රහණය සපුරා ගැනීමට වැය වූයේ කඩුලු 3ක් සහ ඕවර 43.3ක් පමණි.

ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් ඉන්දීය පිලේ වේගපන්දු යවන්නන් වන බුවනෙෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා හමුවේ දැඩි පීඩනයකට හසුවූ අතර බුම්රාගේ තුන්වැනි ඕවරයේ 5 වැනි පන්දුව වනතෙක් ඔහුගෙන් කිසිදු ලකුණක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත්වූහ.

ලකුණු 55ක් ඇතුළත පිතිකරුවන් සිවුදෙනකුම ආපසු ක්‍රීඩාගාරයේ අසුන් ගනිද්දී සිය සුපුරුදු පිතිහරඹය කදිමට පෙන්නුම් කළ ඇන්ජෙලෝ මැතිව්ස් අනගි ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව පිළිසකර කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ළහිරු තිරිමාන්න කලෙකට පසුව යළි ලකුණු අතරට පිවිසීම කැපී පෙනුණි. ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 124ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර තිරිමාන්නගේ දැවීයාමෙන් පසුව ධනංජය ද සිල්වා සමග එක්වූ මැතිව්ස් 6 වැනි කඩුල්ලට ලකුණු 74ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.

මේ ක්‍රීඩාංගණයේදිම එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා පිල ජය ලැබූ තරගයේදීත් නොදැවී ලකුණු 85ක් රැස් කළ මැතිව්ස් පෙරේදා වාර්තා කළේ සිය තුන්වැනි එක්දින ශතකයයි.

එහෙත් පළමු කඩුල්ලට ලකුණු 189ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගූ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු යුගලය රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් ඉන්දීය පිලේ ජයග්‍රහණය සහතික කළේ ශතකය බැගින් රැස් කරමිනි.

‘අපි හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. ඒත් අවාසනාවන්ත විදියට අපිට ඔවුන්ගේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව වේලාසනින් බිඳ දමන්නට නොහැකිවුණා. කිසිම පන්දු යවන්නකුට රෝහිත් නැවැත්වීමට නොහැකිවුණා. ඔහු සමග ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග ඔහු ගැන හොඳින්ම දැන සිටියා. ඒත් උපරිම උත්සාහ කළත් මාලිංගටවත් ඔහු දවාලීමට නොහැකි වුණා’ ඔහු කීවේය.

විශේෂයෙන් ශතක පහක් රැස් කරමින් ලෝක කුසලාන වාර්තාවක් තැබූ රෝහිත් ෂර්මාගේ පිතිහරඹය ශ්‍රී ලංකා පිලේ තරුණ පිතිකරුවන්ට කදිම ආදර්ශයක් බවත් දිමුත් පැවැසීය.

එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට ඉතා හොඳ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඇති බව කී දිමුත් ලෝක කුසලානය දිනාගැනීමට ප්‍රමාණවත් තරම් දස්කම් ඇති සමබර කණ්ඩායම ඉන්දියාව බව කියා සිටියේය.

නව අදහස දක්වන්න