උතුරෙන් පෑයූ නෙට්බෝල් තාරකාව | දිනමිණ

උතුරෙන් පෑයූ නෙට්බෝල් තාරකාව

එලිලෙන්තිනී

එලිල් ලෙසින් නෙට්බෝල් ලොවෙහි ප්‍රචලිත ඇය ලිවර්පූල් හිදී පැවැත්වෙන ලෝක ශූරතාවලියට එක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමෙහි විදින්නියක (Goal shooter) ලෙසිනි. වයස අවුරුදු 24ක් පමණ වන එලිලෙන්තනී සේතුකාවලර් උසින් සෙන්ටිමීටර 193ක් පමණ වේ. 2013 දී නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ කළ ඇය ජාතික කණ්ඩායමට ආගමනය වන්නේ 2018 වසරේ ආසියානු ශූරතාවලියෙනි. යාපනය වෛතීෂ්වර විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වන ඇය පාසල් කාලය තුළ යගුලිය දැමීම සහ කවපෙත්ත විසි කිරීම යන මලල ක්‍රීඩා ඉසව් වල නියැලුණාය.

යාපනයේ පැවති විවෘත සමාජ නෙට්බෝල් තරඟාවලියට ක්‍රීඩා කළා. එතනදී මාව දැකලා මගේ දෙමව්පියන්ට කතා කරලා මට පුහුණුවීම් වලට කොළඹ එන්න ඉඩ සලසා දුන්නේ ට්‍රික්සි මිස් සහ තිලකා මිස්.

කුඩා කාලයේ පටන් යාපනයේ හැදී වැඩුණු ඇයට නෙට්බෝල් ක්‍රීඩා කිරීමට කොළඹට පැමිණෙද්දී ලද පළමු ප්‍රතිචාරය මෙසේය. “මුලින්ම නම් කිසිම කෙනෙක් වැඩි කැමැත්තක් දැක්වූවේ නැහැ. හැමෝම ඇහුවේ කොළඹ ගිහින් ඉන්නේ කොහොමද කියලා. මගේ ගමෙන් ක්‍රීඩා කරන්න කොළඹ ආව ගැහැණු ළමයි හරිම අඩුයි. ඒත් මට අවශ්‍ය වුණා කොහොම හරි කොළඹ ඇවිත් ජාතික කණ්ඩායම සමඟ එකතු වෙලා ඉදිරියටම යන්න”

ලෝක ශූරතාවලියට ඇගේ සූදානම් වීම පිළිබඳ විමසූ විට ඇය පවසා සිටියේ “අඛණ්ඩව පුහුණුවීම් වල නියැලුණා. සෑම පුහුණු සැසියකදීම හොඳ අරමුණක් ඇතිව කැපවීමෙන් මගේ උපරිමය ලබා දුන්නා. විශේෂයෙන්ම බොට්ස්වානා පුහුණු තරඟ මාලාවට පසුව හොඳ ආත්ම විශ්වාසයක් තිබෙනවා. ලෝක ශූරතාවයට සහභාගී වෙලා හොඳින් ක්‍රීඩා කිරීම තමා අරමුණ”

ඇයගේ අරමුණ ලෝක ශූරතාවලියේ දී රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කිරීමත් නැවත පැමිණීමෙන් පසු ඇගේ ඇත්දැකීම් සිය ගමෙහි තුරුණු ක්‍රීඩිකාවන් සමඟ බෙදා හදා ගැනීමත්ය. “යාපනයේ සිට ලෝක ශූරතාවලිය සඳහා මම දිගු ගමනක් ආවා. නෙට්බෝල් ක්‍රීඩාවෙන් තවත් ඉහළට යමින් ඒ අත්දැකීම් බෙදාගෙන අනෙක් ක්‍රීඩිකාවන් දිරිගැන්වීම මගේ අරමුණ” එලිලෙන්තනී සේතුකාවලර් පැවැසූවාය.

නව අදහස දක්වන්න