නෙට්බෝල් සිහිනය යථාර්ථයක් කරගත් | දිනමිණ

නෙට්බෝල් සිහිනය යථාර්ථයක් කරගත්

දීපිකා

එළඹෙන 12 වන දින ලිවර්පූල්හිදී ඇරඹීමට නියමිත නෙට්බෝල් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අංශ රකින්නියක් (Wing Defense), ගෝල් රකින්නියක් (Goal Defense), ගෝල රකින්නිය (Keeper) වශයෙන් ජවය සපයන තවත් දීප්තිමත් ක්‍රීඩිකා තාරකාවක් වන්නේ දීපිකා අබේකෝන්ය. අනුරාධපුර, එප්පාවලින් ජාතික කණ්ඩායමට එක්වූ ඇය 2011 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර තරග 35කදී පමණ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ශ්‍රී ලංකා ‍නාවික හමුදා නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවකි.

පාසල් කාලයේ පටන්ම නෙට්බෝල් ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කළ ඇය අවස්ථා දෙකකදීම කොළඹට පැමිණෙන්නේ පාසල් ක්‍රීඩිකාවක වශයෙනි. ශ්‍රී ලංකා පාසල් හා යොවුන් කණ්ඩායම් සඳහා පැවැත්වූ තේරීම් සඳහා පැවැත්වූ තේරීම් සඳහා සහභාගී වීමටය. එප්පාවල සිට තනිව කොළඹට පැමිණියද පළමු අවස්ථාවේම තේරීම සඳහා ලබා දෙන අංකය පැළඳ ගැනීමට අවශ්‍ය කටයුතු නොමැති නිසා නුපුරුදු කොළඹ නිසාත් ආපසු හැරී ගියාය. මේ කතාන්දරය ඇය අප සමඟ‍ බෙදාගත්තේ සිනහ වෙමිනි. “එතකොට ඒ තරම් අවබෝධයක් නැහැ. හිතට දැනුණ බය නිසා ගියා. නමුත් යම් දවසක නෙට්බෝල් වලින් ඉහළට එන්න තිබුණ අධිෂ්ඨානය අතහැරියේ නැහැ” දීපිකා අබේකෝන් පැවැසූවාය.

“අපිට යමක් කර ගන්න අරමුණක් තියෙනවා නම් අනිවාර්යෙන්ම යන්න පුළුවන්. 2012 වර්ෂයේ ආසියානු ශූරතාවය තිබුණා ශ්‍රී ලංකාවේ. මා ජාතික කණ්ඩායමට තේරුණා. එතැන් පටන් ජාත්‍යන්තර තරඟ ගණනාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. මා ගොඩක්ම අරමුණු කරන්නේ ප්‍රතිවාදියාට වඩා මගේ හැකියාවන් ගැන. මගේ දක්ෂතා කොහොමද කණ්ඩායමට වාසි වන ආකාරයට ලබා දෙන්නේ කියන කාරණය ගැන”

ඇයට අනුව සාර්ථකත්වයේ රහස වන්නේ කැපවීම සහ අධිෂ්ඨානයයි. දීපිකා අනාගත පරපුර වෙනුවෙන් කියා සිටියේ තමන්ගේ හැකියාවන් සහ ආශාවන් (Passion) හඳුනාගන්න. කුමන බාධක ආවත් තමන්ගේ කැපවීමෙන් හඹා යන්න යනුවෙනි.

සටහන - ධවිත්‍රා විතාරණ

නව අදහස දක්වන්න