ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය නිමයි | දිනමිණ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය නිමයි

ඉන්දියාව-නවසීලන්තය ඔස්ට්‍රේලියාව-එංගලන්තය කුසලානය හඹා යති

දොලොස් වැනි වරට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පසුගියදා නිමාවට පත්විය.

කණ්ඩායම් 10ක් එක්වූ තරගාවලියේ එක් කණ්ඩායමක් තරග 9ක් බැගින් ක්‍රීඩා කළ අතර ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හිමිකරගත් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

තරග නවයෙන් 7ක් ජයගෙන ප්‍රසාද ලකුණු 15ක් සමගින් ඉන්දියාව ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර ඔස්ට්‍රේලියාව තරග 9යෙන් 7ක් දිනා ලකුණු 14කින් දෙවැනි තැනට පත්විය. එක් තරගයක් පරාජය වූ ඉන්දියාවට එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත්හැරුණු අතර ඔස්ට්‍රේලියා තරග 2ක් පරාජයට පත්විය. සත්කාරක එංගලන්තය තරග 9යෙන් 6ක් දිනා තෙවැනි තැනටත්, තරග 5ක් ජයගත් නවසීලන්තය සිවුවැනි තැනටත් පත්විය.

ඒ අනුව ඉන්දියාව සහ නවසීලන්තය පළමු අවසන් පූර්ව වටයේදීත්, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය දෙවැනි අවසන් පූර්ව වටයේදීත් තරග වැදීමට නියමිතය.

වැඩිම ලකුණු රෝහිත් ෂර්මාට

තරග 9කදී ලකුණු 647ක් රැස් කරමින් ඉන්දියානු ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා මෙවර තරගාවලියේ මූලික වටය නිමාවනවිට වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. ශතක 5කට සහ අර්ධ ශතකයකට හිමිකම් කියන ඔහුගේ හොඳම ඉනිම වාර්තා වූයේ තරගාවලියේ 22 වැනි තරගයේදී පාකිස්තානයට එරෙහිව මැන්චෙස්ටර් හිදීය. ඒ ලකුණු 140කි.

ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් තරග 9කදී ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 638ක් රැස් කරමින් පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවෙයි. බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් තරග 8කදී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 606ක් ලබා තෙවැනි තැන පසුවන අතර ඔස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච් (507) සහ එංගලන්තයේ ජෝ රූට් (500) ද ලකුණු 500 සීමාවට පිවියහ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා තරග 7කදී අර්ධ ශතක 3ක් ද සමගින් ලකුණු 273ක් රැස්කරමින් සමස්ත පිතිකරුවන් අතර පසුවන්නේ 24 වැනි ස්ථානයේයි.

මිචෙල් ස්ටාක්ට වැඩිම කඩුලු

ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් මෙවර තරගාවලියේ කඩුලුලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ තරග 9කදී කඩුලු 26ක් බිඳ දමමිණි. ඒ සඳහා ඔහු ප්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ ලකුණු 432ක් පමණි. කඩුලු 5 බැගින් අවස්ථා 2කදී සටහන් කරගත් ඔහු නවසීලන්තයට එරෙහිව ලකුණු 26කට කඩුලු 5ක් බිඳ දැමීම හොඳම පන්දු යැවීම විය.

බංග්ලාදේශයේ මුස්තාෆිසූර් රහ්මාන් තරග 8කදී කඩුලු 20ක් බිඳ දමමින් දෙවැනි ස්ථානය පත්ව සිටී. කඩුලු 5 බැගින් අවස්ථා 2කදී වාර්තා කළ ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් වූයේ ඉන්දියාවට එරෙහිව ලකුණු 59කට කඩුලු 5කි.

නවසීලන්තයේ ලොකී ෆර්ගියුසන් තරග 7කදී කඩුලු 17ක් බිඳ හෙළා තෙවැනි තැන පසුවන අතර ඉන්දියාවේ ජස්ප්‍රීට් බුම්රා, පාකිස්තානයේ මොහොමඩ් අමීර්, එංගලන්තයේ ජොෆ්රා ආචර් ද කඩුලු 17ක් බැගින් දවා ගැනීමට සමත්ව සිටිති.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලසිත් මාලිංග ඉදිරියෙන් පසුවන්නේ තරග 7කදී කඩුලු 13ක් දවා ගනිමිනි. ඔහු සමස්ත සටහනේ කඩුලුලාභීන් අතර 12 වැනි ස්ථානයේ පසුවෙයි.

ඉහළම ඉනිම

මෙතෙක් වාර්තාවු ඉහළම ඉනිමට හිමිකම් කියන්නේ ඩේව්ඩ් වෝනර් ය. ඔහු බංග්ලාදේශය එරෙහිව පැවැති 26 වැනි තරගයේදී ලකුණු 166ක් රැස් කිරීමට සමත්වූයේ පන්දු 147කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.

එංගලනත්යේ ජේසන් රෝයි සහ ඔස්ට්‍රේලියාවේ ඇරොන් ෆින්ච් ලකුණු 153ක් බැගින් රැස්කර තිබෙන අතර එංගලන්තයේ ඔයින් මෝගන් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් ලකුණු 148ක් බැගින් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඉහළම ඉනිම පෙරේදා ඉන්දියාව සමග තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් වාර්තා කළේ ලකුණු 113ක් රැස් කරමිනි.

හොඳම පන්දු යැවීම

මෙවර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ පාකිස්තානයේ ශාහීන් අෆ්රිඩිය. ඔහු, බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ලකුණු 35කට කඩුලු 6ක් දවා ගත්තේ මෙවර තරගාවලියේ කඩුලු 6ක් බිඳ දැමූ එකම ක්‍රීඩකයා ලෙසිනි.ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් නවසීලන්තයට එරෙහිව ලකුණු 26කට කඩුලු 5ක් දවා ගත් අතර බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් ලකුණු 29කට කඩුලු 5ක් බිඳ දැමූහ.

පාකිස්තානයේ මොහොමඩ් අමීර්, නවසීලන්තයේ ජෙම්ස් නීෂම්, ඔස්ට්‍රේලියාවේ ජේසන් බෙරන්ඩ්‍රොෆ්, බංග්ලාදේශයේ මුස්තෆිසූර් රහ්මාන් සහ ඉන්දියාවේ මොහොමඩ් ෂාමී ද කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්ව සිටිති.

වැඩිම ලකුණු සත්කාරකයන්ගෙන්

තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ සත්කාරක එංගලන්තයයි. ඔවුන් තරගාවලියේ 24 වැනි තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 6කට ලකුණු 397ක් රැස්කළ අතර තරගාවලියේ 12 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ඔවුන් විසින්ම කඩුලු 6කට රැස්කළ ලකුණු 386 දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5කට ලකුණු 381ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියා තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළේය.

අඩුම ලකුණු පාකිස්තානයෙන්

තරගාවලියේ දෙවැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 105කට දැවී යෑම තවමත් තරගාවලියේ අඩුම ලකුණු ලෙස වාර්තා වෙයි.

දකුණු අප්‍රිකාව හමුවේ ඇෆ්ගනිස්තානය ලකුණු 125කට දැවී ගිය අතර ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ ලකුණු 136කට දැවී ගොස් තිබේ.

වැඩිම අතිරේක ලකුණු

මේ වනවිට කණ්ඩායමක් ලබාදුන් වැඩිම අතිරේක ලකුණු ප්‍රමාණය වාර්තා වන්නේ ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන තරගයේදීය. එහිදී පළමුව පන්දු යැවූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් අතිරේක ලකුණු 35ක් ලබාදී තිබිණි.

ඔස්ට්‍රේලියාව සමග තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල අතිරේක ලකුණු 27ක් ලබාදී ඇති අතර කොදෙව්වන් සමග තරගයේදී ශ්‍රී ලංකා පිලද අතිරේක ලකුණු 27ක් ලබාදී ඇත. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී කොදෙව්වන් ලබාදුන් අතිරේක ලකුණු සංඛ්‍යාව 26කි.

කඩුල්ල පිටුපස වැඩිම දවා ගැනීම්

කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් අතරින් වැඩිම සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඇලෙක්ස් කෙරීය. ඔහු තරග 9කදී උඩ පන්දු 17ක් සහ ස්ටම්ප් කිරීම් 2ක් සමගින් දවා ගැනීම් අවස්ථා 19කට දායකත්වය ලබාදී තිබේ. කොදෙව් පිල ශායි හෝප් තරග 9කදී දවාගැනීම් 16ක් (උඩ පන්දු 16) සමගින් දෙවැනි තැන පසුවන අතර නවසීලන්තයේ ටොම් ලැතම් තරග 8කදී උඩ පන්දු 15ක් රැකගෙන තිබේ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් ජනිත් පෙරෙරා රැකගත් උඩ පන්දු සංඛ්‍යාව 8කි.

වැඩිම උඩ පන්දු

මෙවර තරගාවලියේ වැඩිම උඩ පන්දු සංඛාවක් රැක ගෙන එංගලන්තයේ ජෝ රූට් සමත්විය. ඔහු උඩ පන්දු 11ක් රැකගත් අතර දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසි උඩ පන්දු 10ක් රැකරගෙන තිබේ.

ලකුණු සබඳතා

බංග්ලාදේශයට එරෙහිව ඩේවිඩ් වෝනර් සහ උස්මාන් කවාජා දෙවැනි කඩුල්ලට එක්කළ ලකුණු 192 මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ ඉහළම සබඳතාව ලෙස සටහන් වෙයි. බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සහ ලිටොන් දාස් කොදෙව්වන්ට එරෙහිව සිවුවැනි කඩුල්ලට ලකුණු 189ක්, එංගලන්තයේ ජෝ රූට් සහ ඔයින් මෝගන් ඇෆ්ගනිස්තානය සමග තරගයේදී තෙවැනි කඩුල්ලට ලකුණු 189ක් සහ ශ්‍රී ලංකා පිලට එරෙහිව රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් ද පළමු කඩුල්ලට ලකුණු 189ක සබඳතාවක් පිහිටුවා තිබේ.

ලකුණු වැඩිම තරගය

තරගයක කණ්ඩායම් දෙකම එක්ව රැස්කළ ඉහළ ලකුණු වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර 26 වැනි තරගයේදීය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 381ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බංග්ලදේශය කඩුලු 8කට ලකුණු 333ක් රැස්කර තිබේ. ඒ අනුව කණ්ඩායම් දෙකම කඩුලු 13කට ලකුණු 714ක් රැස් කිරීමට සමත්වුහ. එංගලන්තය සහ පාකිස්තානය අතර තරගයේදී ලකුණු 682ක් වාර්තා වන අතර ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගයේදී ලකුණු 668ක් වාර්තා වෙයි.

ඇෆ්ගනිස්තානයට 0යි

දෙවැනි වරට ලෝක කුසලාන තරගාවලියකට එක්වූ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලිය නිමා කිරීමට සිදුවූයේ සියළුම තරග පරාජයට පත්වෙමින්. ඔවුන් මින් පෙර 2015 වසරේදී ලෝක කුසලාන තරගාවලියට එක්වූ අතර එවර එක් ජයග්‍රහණයක් වාර්තා කර තිබුණේ ස්කොට්ලන්තයට එරෙහිවය.

 

නව අදහස දක්වන්න