පෝට්සිටි සවි­බල ගැන් වූ ධීවර ජනතා ජීව­නෝ­පාය සහ­යෝ­ගීතා ව්‍යාපෘ­තිය සාර්ථ­කව අව­සන් | දිනමිණ

පෝට්සිටි සවි­බල ගැන් වූ ධීවර ජනතා ජීව­නෝ­පාය සහ­යෝ­ගීතා ව්‍යාපෘ­තිය සාර්ථ­කව අව­සන්

ශ්‍රී ලංකාව තුළ එදා මෙදා තුර පෞද්ගලික සාමගමක් විසින් මීගමු කලාපයේ ධීවර ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කළ දැවැන්තම සමාජ සත්කාරක ව්‍යාපෘතිය වූ කොළඹ වරාය නගර සමාගම ක්‍රියාත්මක කළ ධීවර ජනතා ජිවනෝපාය සහයෝගිතා වැඩසටහන වසර 3 ඉලක්ක ගත කාලය සම්පූර්ණ කරමින් සාර්ථකව අවසන් විය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජක සීමාසහිත සී. එච්. ඊ. සී. පෝට්සිටි ක්ලම්බෝ (පුද්ගලික) සමාගම වෙතින් පිරිනැමුන රුපියල් කෝටි 50ක ආධාර අරමුදලකින් පිහිටුවන ලද ධීවර ජනතා ජීවන සහයෝගිතා කමිටුව ගත වූ වසර 3ක කාලය තුල දී මීගමුව ධීවර කලාපයේ ධීවර ජනතාව වෙත ඉටු කරන ලද සමාජ සවිබල ගැන්වීමේ සේවා හා වැඩසටහන් ප්‍රමාණය අති මහත්ය.

මීගමු කලාපයේ ජීවත් වන ධීවර කාර්මිකයින් හා ඔවුන්ගේ පවුල් වල සමාජිකයින් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න හඳුනා ගනිමින් හැකි පමණ එම ගැටලුවලට පිළියම් යෙදීමේ අරමුණින් බිහි කරන ලද මෙම සමිතිය මගින් වරාය නගරය පිළිබඳ ධීවර ජනතාව තුල ඇතිව තිබූ අනිසි බිය තුරන් කරමින් පෝට්සිටි ව්‍යාපෘතිය පිළිබඳ නිවැරදි අවබෝධයක් ධීවර ජනතාව තුල ඇති කිරීමටත් හැකියාව ලැබිණ.

පෝට්සිටි ඉදිකිරීම සඳහා නිසි පරිසර අධ්‍යයනයකින් පසු මුහුදු වැලි ලබා ගැනීමට නිර්දේශ වූයේ මීගමු ආශ්‍රිත ගැඹුරු මුහුදු කලාපයෙනි. නමුත් ඒ පිළිබඳ නිසි දැනුවත් වීමකින් තොරව විවිධ බලපෑම් හමුවේ ධීවර ජනතාව නොසන්සුන් ව සිටි අවස්ථාවක මෙම ව්‍යාපෘතියේ සැබෑ තොරතුරු ලබා දෙමින් මෙන්ම මීගමුවේ ප්‍රධාන ධීවර සංගම් 24ක නියෝජිතයින් වැලි කණින නෞකාවේ නිරීක්ෂණය කිරීමට පවා අවස්ථාව ලබා දෙමින් පෝට්සිටි සමාගම ධීවර ජනතාව වෙත විවෘත වෙමින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන ලදී.

එලෙස ගොඩනැඟුන සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස මීගමුව කලාපයේ ජීවත් වෙන ධීවර ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනා ගෙන ඒ සඳහා හැකි අයුරකින් තිරසාර විසඳුම් ලබා දිය හැකි බිම් මට්ටමේ යන්ත්‍රණයක් ලෙස මෙම ධීවර ජනතා ජීවනෝපාය සහයෝගිතා සමිතිය බිහි විය. අනතුරුව මීගමු කලාපයේ ධීවර නියෝජිත සමිති ඔස්සේ ඉදිරිපත් කෙරුණු යෝජනා හා ඉල්ලීම්, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් අධ්‍යයනය කොට ක්‍රියාවට නැංවිණ.

ඒ අනුව ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය හා අවසරය ලැබූ මීගමු කලාපයේ ග්‍රාමීය ධීවර සමිති 77කට එක් සමිතියකට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් පහළොස් කෝටි හතළිස් ලක්ෂයක් අරමුදල් ප්‍රදාන ලෙස ලබා දෙන ලදී. ඒ ඒ සමිති යටතේ සාමාජිකත්වය ලබා සිටින දහස් සංඛ්‍යාත ධීවර කාර්මිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රැකියා ආම්පන්න මිලදී ගැනීමට හෝ ස්වයං රැකියා අවස්ථා සඳහා සහන පොලී ණය ලබා ගැනීමේ අවස්ථාව ඉන් උදා විය.

ධීවර ජනතාව වෙනුවෙන්ම ක්‍රියාත්මක ‘දිවි සයුර’ රක්ෂණාවරණය සඳහා පසුගිය වසර 3 මුළුල්ලේ මීගමු කලාපය තුල ලියාපදිංචි 15,450ට ආසන්න ජනතාව වෙනුවෙන් එම රක්ෂණ ආවරණය යාවත්කාලීන කිරීම සඳහා වැය කර තිබු මුදල එක් කෝටි හතළිස් පන් ලක්ෂයකි. එම කාල සීමාව තුළ දී ස්වාභාවික හේතු මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් අභාවයට හෝ ආබාධිත බවට පත් වූ ධීවර කාර්මිකයන් වෙනුවෙන් මෙන්ම රෝගාබාධ සඳහා අදාළ රක්ෂණාවරණය මගින් රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා වන්දි මුදල් පිරිනමන ලදී.

මීගමුව ධීවර කලාපයම ආවරණය පරිදි ගෙවනු වසර 3 තුල දී නොමිලේ පවත්වන ලද වෛද්‍ය සායන ප්‍රමාණය 35කි. ඉන් අවම වශයෙන් 6000ට අධික ධීවර සාමාජික සාමාජිකාවන් ප්‍රතිලාභ ලැබූ අතර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ සුළු පරිමාණ ශල්‍ය කර්ම සඳහා ද පහසුකම් සලසා දෙනු ලැබිණ.

මීට අමතරව පලඟතුරේ ධීවර ප්‍රජා ශාලාව සහ ශාන්ත මරියා දෙව් මැදුරේ ජුබිලි ශාලාව ප්‍රතිසංස්කරණය, කුඩාපාඩුව ‘ඒන්ජල්’ පෙරපාසල හා පිටිපන ධීවර වරායේ පිහිටි ග්‍රාමීය ධීවර සංවිධාන දිස්ත්‍රික් කාර්යාලය නවීකරණය කිරීම, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය, මිදිගහවත්ත සහ මැනුවල් පීරිස් තොටුපල ආශ්‍රිතව අව් ආවරණ ඉදිකිරීම, නැගෙනහිර පලඟතුරේ ශාන්ත අන්තෝනි මත්ස්‍ය වෙළඳපළේ අපවහන කානු පද්ධතිය ඉදිකිරීම, කුරණ ශාන්ත ඇන්ඩෘ වරාය පිවිසුම ආසන්නයේ අධි බලැති ආලෝක සංඥා සවි කිරීම, ලෙල්ලම භූමියේ රාත්‍රී විදුලි පහන් පද්ධති ස්ථාපිත කිරීම, කම්මල්තොට ධීවර තොටුපලේ ආලෝක පද්ධති ස්ථාපිත කිරීම ධීවර ජනතා ජීවන සහයෝගිතා සමිතිය මඟින් ඉටු කළ ව්‍යාපෘති අතරින් කිහිපයකි.

කම්මල්තොට ඉදිවර ධීවර සමිතියට දීර්ඝ කාලයක සිට අත්‍යවශ්‍යව පැවති ලීටර් 30000ක් ගබඩා කළ හැකි ඉන්ධන ගුදමක් ඉදිකිරීමට ද දැඩි අවශ්‍යතාවක් ව පැවති සිරිවර්ධන පෙදෙසේ ශුද්ධ කුරුස ධීවර තොටුපල හා පිටිපන ආශ්‍රිත ඇළ මාර්ග සුද්ධ පවිත්‍ර කිරීම ද මෙම සමිතිය මගින් සිදු කළ තවත් වැදගත් කටයුත්තකි.

පොදු අවශ්‍යතා සඳහා භාවිතයට ගත හැකි පුටු සහ කූඩාරම් ග්‍රාමීය සමිති වෙත පිරිනැමුන අතර ධීවර පවුල්වල කාන්තා සාමාජිකාවන් වෙනුවෙන් විවිධ කුසලතා වර්ධන හා ස්වයං රැකියා ප්‍රවර්ධන පුහුණු පාඨමාලා රැසක් ද මේ ඔස්සේ පැවැත්වුණු අතර සිසු දරුදැරියන් උදෙසා ශිෂ්‍යත්ව මෙන්ම තරුණ ධීවර කාර්මිකයින් උදෙසා සාගර විශ්වවිද්‍යාලය සමඟ එක්ව පවත්වන නාවික නියමු පාඨමාලා හා අනෙකුත් වැඩමුළු ද ධීවර ප්‍රජාව අතර ඉමහත් ප්‍රශංසාවට ලක් විය.

ප්‍රදේශයේ ජීවත් වන පාරම්පරික මාදැල් ධීවර කාර්මිකයින්ගේ ඉල්ලීමක් පරිදි පරණ අම්බලම හා සුදුවැල්ල අතර වෙරළ තීරයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් හා මූලික ඉංජිනේරු සැලැස්මකට අනුව වැලි ඝන මීටර ලක්ෂ තුනක් පොම්ප කිරීම සඳහා ද පෝට්සිටි සමාගම මෙම සමිතිය හරහා කටයුතු කරන ලදී.

ගෙවුණු වසර 3ක කාලය තුල දී මීගමු කලාපයේ පැවති ප්‍රධාන කිතුණු උත්සව මෙන්ම, සිංහල අලුත් අවුරුදු උත්සව හා බොදුනු වෙසක් උත්සව සඳහා ද ධීවර ජනතා ජීවන සහයෝගිතා සමිතිය සිය දායකත්වය සක්‍රීයව ලබා දෙනු ලැබිණ.

ව්‍යාපෘතිය අවසන් කරමින් ධීවර ජනතාව සමඟ සුහද හමුවකට එක්වීමට පෝට්සිටි ව්‍යාපෘතිය සමඟ ධීවර ජනතා ජීවන සහයෝගිතා කමිටුව, සුහද හමුවකින් එක්වූයේ මීගමුවේ කැම්ලට් හෝටලයේදීය.

නව අදහස දක්වන්න