සිවු දරු මව වන අලි­යාට බිලි | දිනමිණ

සිවු දරු මව වන අලි­යාට බිලි

ලුණුගම්වෙහෙර කඩවර වැව අසල දී වන අලියකු පහර දීම හේතුවෙන් සිවුදරු මවක් මරණයට පත්වී ඇයගේ පුතකු තුවාල ලබා තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කළ බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ වීරවිල පන්නෙගමුව අමරවීර මාවතේ පදිංචි මද්දුම වෙල්ලාරගේ සමන්ති(47) නැමැත්තියයි. අලියාගේ පහර දීමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇයගේ පුතෙකු වන විදාන ආරච්චිලාගේ චමල් සමීර (26) යන අයයි.

ඔවුන් දෙදෙනා ගවයන්ට තණකොළ කැපීමට යතුරුපැදියෙන් කඩවර වැවට යමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක් වී ඇතැයි මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් තිස්සමහාරාම හදිසි මරණ පරික්ෂක කේ.ජී. සී.නෙරංජන් මහතා විසින් පවත්වන ලද හදිසි මරණ පරික්ෂණයේදී අනාවරණය විය.

ලුණුගම්වෙහෙර පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

වීරකැටිය සමූහ

ඒ.ටී. කහඳුගොඩ

 

නව අදහස දක්වන්න