46 හැවි­රිදි දෙදරු මවට ඇසිඩ් ගැසූ සැක­ක­රුවෝ අත්අ­ඩං­ගු­වට | දිනමිණ

46 හැවි­රිදි දෙදරු මවට ඇසිඩ් ගැසූ සැක­ක­රුවෝ අත්අ­ඩං­ගු­වට

ත්‍රීරෝද රියකින් පැමිණ කල්එළිය මල්ලැහැව ප්‍රදේශයේ වෙළෙදසලක තේ පානය කරන අවස්ථාවේ පසුගිය 2 වැනිදා 46 හැවිරිදි දෙදරු මවකගේ මරණය සිදු කිරීමේ අරමුණින් ඇසිඩ්ප්‍රහාරයකට ලක්කර ඇත්තේ ඇය ගමන් කළ ත්‍රිරෝද රථයේ රියදුරු, හා එම රියදුරාගේ බිරියගේ කොන්ත්‍රාතුවක් මත බව අනාවරණය කරගැනීමෙන් පසු එම යුවළද ප්‍රහාරකයන් පැමිණි මෝටර් රථය හා එය පදවාගෙන ආ තරුණයා ද අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

පරීක්ෂණයේ දී හෙලිවූ තොරතුරු අනුව පෙරේදා 6 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ පත්තලගෙදර ප්‍රදේශයේ යුවළක හා බුලත්කොහුපිටියේ තරුණයෙකි.

මේ සිදුවීමේ දී කාන්තාවට ඇසිඩ්ප්‍රහාරය එල්ල කර ඇත්තේ ප්‍රධාන සැකකාර යුවළගේ ඥාතියකු ද වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත. කලක් පොලිසියේ සේවය කර ඇති බව කියන එම සැකකරු ප්‍රදේශය හැර පලාගොස් ඇති බවත් ඔහු සෙවීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

කාන්තාව තේ පානය කරන අවස්ථාවේ දී මෝටර් රියකින් පැමිණි නාදුනන පුද්ගලයකු ඇයට ඇසිඩ්ප්‍රහාරය එල්ල කර පලා ගිය බවට ත්‍රීරෝද රියදුරා පොලිසියට ප්‍රකාශ කර තිබිණි. ප්‍රහාරයට ලක්වූ කාන්තාව මුහුණේ හා පපුවේ පිලිස්සුම් තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කරනු ලැබ ප්‍රතිකර ලබමින් පසුවේ.

තුවාලකාරිය කළත් තිස්සේ පත්තලගෙදර ප්‍රදේශයේ බේකරියක සේවය කර ඇතැයිද එිහි දී ඇය බේකරිය හිමිකරු හා සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇතැයිද කියන පොලිසිය කාන්තාව බේකරි හිමිකරුගෙන් නිතර මුදල් ලබා ගනිමින් හා වරින් වර මුදල් ඉල්ලමින් කරදර කර ඇති බව ද හෙළීවී ඇත. මේ බව බේකරි හිමිකරුගේ බිරිය දැන ගැනීමෙන් පසුව කාන්තාව මරා දැමීමට තීරණය කර එම යුවළ එම කටයුත්ත සිදුකිරීමට කෑගල්ලේ ඥාතියාට බාර දී ඇතැයි පොලිසිය හෙලි කරගෙන ඇත. මේ සඳහා රුපියල් තිස් දහසක් ගෙවීමට මෙම යුවළ කැමැත්ත පල කර ඇත

බේකරි හිමිකරු හා බිරිය කළ කුමන්ත්‍රණයකින් පසුව බේකරියේ සේවය කරන කාන්තාව දේවාලයකට කැඳවාගෙන යාම සැලසුම් කර ඇතැයිද ඒ අනුව කෑගල්ලේ ඥාතියා කුලියට ගත් මෝටර් රියකින් ඔවුන් පසුපස පැමිණ ඇති බව ද හෙළිවී තිබේ. රිය පැදවීම සඳහා කෑග්ලලේ ඥාතියාගේ හිතවතකු වන බුලත්කොහුපිටියේ තරුණයා කැඳවාගෙන පැමිණ ඇත.

රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි බව කියන දෙදරු මව, බේකරි හිමියා පැදවූ ත්‍රිරෝද රියෙන් දේවාලයක පූජාවක් පැවැත්වීම සඳහා යමින් සිටිය දී මල්ලැහැව වේයන්ගොඩ පාරේ වෙළෙද සැලක් අසල තේ පානය සඳහා නතරවී ඇති බව මූලික පොලිස් පරීක්ෂනවල දී හෙලිවී තිබිනි.

කාන්තාව තේ පානය සඳහා වාඩිවී සිටින අවස්ථාවේ මෝටර් රථයකින් ආ පුද්ගලයකු කාන්තාව සමීපයට ගොස් ඇගේ පපුවට හා මුහුණට ඇසිඩ්ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබිණි.

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

නව අදහස දක්වන්න