ත්‍රිවිධ හමුදාවේ සියලු දීමනා පස් ගුණයකින් වැඩි කළා | දිනමිණ

ත්‍රිවිධ හමුදාවේ සියලු දීමනා පස් ගුණයකින් වැඩි කළා

මුදල් ඇමැති මංගල සමරවීර

ත්‍රිවිධ හමුදාවේ සියලු දීමනා සියයට සියයේ සිට සියයට පන්සීය දක්වා වැඩිකරමින් වසර විස්සක් පුරා පැවති අසාධාරණය නිවැරැදි කළ බවත් පසුගිය රජය පැරදුණේ ත්‍රිවිධ හමුදාව විකුණාගෙන කාපු නිසා බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසූවේ පෙරේදා (06දා) මාතර පල්ලිමුල්ල හන්දියේ ආරම්භකළ මෙගා සතොස ශාඛාව ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අද සුදු ජූලියේ වරප්‍රසාදයක් මාතරට ලැබෙන දවස. අවුරුදු තිස් හයක් තිස් හතකු තිස්සේ අපි කළු ජූලිය ලෙසින් හදුන්වපු මේ ජූලි මාසය අද අපගේ රජය යටතේ සැබවින්ම සුදු ජූලියක් බවට පත්වෙලා තියෙනවා. අපි එහෙම කියන්නේ මේ මාසයේ පළවෙනිදා මේ රටේ විවිධ කොට්ඨාසවලට වරප්‍රසාද රාශියක් දෙන්නට කටයුතු කළා. එකපැත්තකින් රජයේ සේවකයින්ට අපේ රජයෙන් දෙගුණයකින් කළ වැටුප් වැඩිකිරීමට අමතරව ජුලි මාසයේ සිට තවත් රුපියල් දෙදහස් පන්සියයක් අපි ලබාදෙනවා.

ඊට අමතරව ජනාධිපති වැටුප් කොමිෂන් වාර්තාව, ඇමැති මණ්ඩල නිරීක්ෂණ කමිටුවේ වාර්තාව ආපුවහම වැටුප්වල සංශෝධනයකුත් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි අපේ විශ්‍රාමිකයින්ටත් සුවිශේෂී වාසියක් ලබාදෙන්න ක්‍රියාකළා. අවුරුදු දහයක් විතර හදනවා හදනවා කියා කෑගසමන් සිටි හා පසුගිය රජය විශ්‍රාමිකයින් නොමග යවමින් සිටි විශ්‍රාම වැටුප් ක්‍රමය, සංශෝධන අපි වෙනස්කරලා විශ්‍රාමිකයින්ටත් විශාල වශයෙන් වැටුප් වැඩිකළා.

ඒ වාගේම අපේ වීරෝධාර ත්‍රිවධ හමුදාව ගැන රටේ හැමෝම කතාකරනවා. පසුගිය රජය පැරදුනේ හමුදාව විකුණගෙන කාලා. නමුත් අවුරුදු විස්සක් තිස්සේ ඒ අයගේ දීමනා වැඩිකර තිබුනේ නෑ. යුනිෆෝම් දීමනාව, නිවාස දීමනාව වැනි වැඩිනොකරපු සියලු දීමනා සියයට සියයේ සිට සියයට පන්සියය දක්වා වැඩිකරල ඒ කටයුත්තක් අපි මේ මාසයේ සිටම ආරම්භකළා. ඒ සමගින් අද අපි මුළු රටටම සංවර්ධන කලාපයක් බවට පත්කරලා ගම්පෙරලිය වැඩසටහන හරහා මුළු රටම අද වැඩබිමක් බවට පත්කරලා තියෙනවා.

ඉතිහාසයේ කිසිදිනක ලබානොදුන් තරමේ මුදල් ඒක ආසනයකට රුපියල් කෝටි තිහක් බැගින් ලබාදී තිබෙනවා. එපමණක් විතරක් නොවෙයි ලබන අගොස්තු මාසයේ සිට තවත් කෝටි දහයක් සෑම ආසනයකටම ලබාදෙනවා. මේ වන විට ව්‍යාපෘති අසූහයදාහකට වඩා ලාකාව පුරා ගමක් ගමක් ගානේ ක්‍රියාත්මක වෙනවා. මෙවන් විශාල වැඩකොටසක් කරගෙන යන ගමන් අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ පක්ෂ භේදයකින් තොරුව, ආගම් භේදයකින් තොරව කුල භේදයකින් තොරව මේ සංවර්ධන ක්‍රියාවලිය පිටුපස අපි හැමකෙනෙක්ම සිටගෙන මෙය රටපුරා ගෙනයන්න සහයෝගය ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා.

වෙළෙඳ වානිජ හා කර්මාන්ත වැඩබලන ඇමැති බුද්ධික පතිරණ මහතා - මේ සතොසවල් ලංකාවේ තියෙන්නේ අද මේ ආරම්භකරන එකත් එක්ක තුනයි. පළමු මෙගා සතොස රත්මලානෙ, දෙවැනි එක කන්ද උඩරට මහ නුවර තුන්වැනි එක මංගල ඇමතිවරයා නායකත්වය දෙන මාතර දිස්ත්‍රික්කයේ එතුමාගෙ ආසනයවූ මේ මාතර පිහිටවූවා. එක පැත්තකින් ලංකාවේ දිගම නම තියෙන අමාත්‍යාංශය, අනෙක් පැත්තෙන් වැඩිම ආයතන තියෙන අමාත්‍යාංශය වැඩබලන්න දීල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කොටම මිනිහට. අපි අද විවෘතකරන්නේ ලංකා සතොස හාරසිය විසිදෙවැනි ශාඛාව. අපේ ඉලක්කය මේ වසර තුළ සතොස ජාලය පන්සියය දක්වා ඉහළට ගෙනියන්න.

අපේ ප්‍රධාන බලාපොරොත්තුව සතොස ලංකාවේ ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න. එහිදී අපි වෙනස්කම් රැසක් පසුගිය කාලයට වඩා බරපතළ විදියට සිදුකරනවා. මින් ඉදිරියට සෑම සතොසක් ආරම්භ කිරීමේදී දේශපාලන සබැදියාවට වඩා එහි තිබෙන වෙළදපොළ වටිනාකම ගැන සිතනවා. එමෙන්ම පඩු ලබන සතොසවල් හොද කළමනාකාරීත්වයක් යටතේ ප්‍රතිසංවිධානය කරනවා. සතොට බදවා ගැනීමේ ක්‍රියාවලියේ සිටි බඩු භාණ්ඩ මිලදී ගැනීම දක්වා අපි එම ක්‍රියාවලිය ක්‍රියාවට නංවනවා. පෞද්ගලික වෙළදසැල් දිහා බලා එහි ඇති අඩු මුලට වඩා අඩු මිලකට බඩුදෙන්න අවශ්‍ය ක්‍රමවේද අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ලාභයටත් ප්‍රමිතියට අවශ්‍ය බඩු ජනතාවට දෙන්න අවශ්‍ය ක්‍රමවේද අපි සකස්කරගෙන යනවා.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින්, සතොස උසසස් නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

ඡායාරූප ජයසිරි පේදුරුආරච්චි
ගන්දර සමූහ

 

නව අදහස දක්වන්න