මාධ්‍ය මෙහෙවර නිසි ලෙස කළහැකි වට පිටාවක් දැන් ඇතිව තිබෙනවා | දිනමිණ

මාධ්‍ය මෙහෙවර නිසි ලෙස කළහැකි වට පිටාවක් දැන් ඇතිව තිබෙනවා

ජනමාධ්‍ය ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන

කවුරුන් කුමන විවේචන කළ ද රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බව ජනමාධ්‍ය ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පෙරේදා (06දා) මාතලේ දි පැවසිය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ පත්‍ර කලා සංගමයේ 30 වෙනි සංවත්සරය සැමරිම නිමිත්තෙන් 2019 මාධ්‍යාභිමානි සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේදි මෙම උත්සවය උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

මෙහිදි මාතලේ ප්‍රදේශයේ සමාජ, සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයට දායක වූ මාධ්‍යවේදීන් දස දෙනෙකු සම්මානයට පාත්‍ර විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවසිය. උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිම සඳහා මාධ්‍යවේදීන් සිදුකරනු මෙහෙවර සහ නිර්මාණශිලිත්වය ඇගැයීම සමස්ථ සමාජයේ යුතුකමක්. මාධ්‍යවේදීන් තම රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙනවා, සමහර මාධ්‍යවේදීන් තම රාජකාරිය ඉටු කිරීමට ගොස් ජිවිත පවා නැති කරගෙන තිබෙනවා.

අපේ රටේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නිසි ඇගැයීමක් නොලැබෙන බව මම හොඳටම දන්නවා. මේ වන විට මාධ්‍යවේදීන්ට සිය කාර්යභාරය නිසි ලෙස ඉටුකිරිමේ වට පිටාවක් නව රජය යටතේ උදා වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය මෙන්ම තොරතුරු දැනගැනීමේ පනත හරහා ජනතාවට අවශ්‍යය තොරතුරු කඩිනමින් ලබාගැනීමේ හැකියාව ද මේ වන විට ක්‍රියාත්මක බව පසුගිය පාලන කාලයට වඩා වත්මන් රජය විසින් මාධ්‍ය නිදහස වඩාත් හොඳින් තහවරු කර ඇති බද අමාත්‍යවරයා මෙහිදි පැවසිය.

1955 වසරේ මුල්වරට ආරම්භ වී ඇති මාතලේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට වසර 30 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ සක්‍රීය ප්‍රාදේශිය මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් නිත්‍ය සාමාජිකත්වය දරන එකම සංවිධානය මාතලේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය විසින් සංවිධානය කළ මෙම සම්මාන උළෙලේ දී මාධ්‍ය වේදීන් දස දෙනෙකු සම්මානයෙන් පුදන ලදි.

සම්මාන හිමි වූවන් අතර සිරි අභයසිරි, සී.ති. ගමගේ, දයාසේන අබේවීර, කේ.වේලායුධන්, රිචඩ් ද සිල්වා, මුහම්මද් සමුන් මුහම්මද් මසාහිම්, ඒ.ඒ.එල්. ඩයස්, අනුරාධ මහින්ද දිසානායක, කාංචන කුමාර ආරියදාස, නිමල් සමරවීර බෝගහවත්ත සහ ඉන්දික අරුණ කුමාර මහත්වරු වෙති.

මෙම සම්මාන උළෙල සදහා රංගිරි දඹුුලු රජමහා විහාරයේ විෂ්ණු මහ දේවාලයේ භාරකාර මාතලේ මහ දිසාවේ සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන් මුලසුන හෙබවු අතර කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවි ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න, මාතලේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ, හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ජනතා විමුක්ති පෙරමුණු දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක, මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන පත්‍ර කලා සංගමයේ සභාපති හිල්ටන් බෙරෙන්ජර් ලේකම් ප්‍රියන්ත සුමනසේන යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාතලේ ඒ. ඒ. ඩයස්, සීගිරිය විශේෂ, මාතලේ විරාජ් හා නාඋල සමූහ

 

නව අදහස දක්වන්න