අධ්‍යාපනයට නව තාක්ෂණය හඳුන්වා දීමෙන් ලොව ජය ගතහැකි දරු පරපුරක් බිහිවෙනවා | දිනමිණ

අධ්‍යාපනයට නව තාක්ෂණය හඳුන්වා දීමෙන් ලොව ජය ගතහැකි දරු පරපුරක් බිහිවෙනවා

ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර

එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන එමින් ලංකාවේ අධ්‍යාපනය නව මඟකට යොමුකළ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පරිගණකය ඇතුළු නව තාක්ෂණික මෙවලම් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් අපේ දරුවන්ට ජාත්‍යන්තරය ජයගැනීමට මඟ හෙළිකළා යැයි හාලිඇල එ.ජා.ප. ආසන සංවිධායක හා ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ බ/හාලිඇල දෙමළ මහ විදුහලේ ඉදිකරන ලද ගොඩනැඟිලි තුනක් විවෘත කිරීම නිමිත්තෙන් එම විදුහල් ශ්‍රවනාගාරයේදී ඉකුත් (04දා) පැවැති උත්සව සභාව අමතමිණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. මේ කාලය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිදා සිදු නොවූ තරම් සංවර්ධනයක් සිදුවූ යුගයක්. අද දවසේ පමණක් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ලංකාවේ පාසල් ගොඩනැඟිලි 250 ක් සිසු අයිතියට පත්වෙනවා. මේ දෙවන අදියර. මීට පෙරත් මේ වගේ පාසල් ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් විවෘත කෙරුණා. ඉදිරියේදී තවත් ගොඩනැඟිලි රාශියක් විවෘත කරන්න තිබෙනවා.

අපේ අගමැතිවරයා ඌව පළාතේ අධ්‍යාපනයේ දියුණුවට රුපියල් මිලියන පන්දහසකට අධික මුදලක් දුන්නා. මේ වැඩ වේගවත් කරන්න නිළධාරීන් ප්‍රමාණවත් නැති නිසා ඌව ප්‍රධාන අමාත්‍යවරයා ඉතා කෙටි කාලයක් තුළ ඉංජිනේරුවරුන් ඇතුළු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශ්‍රාම ගිය නිළධාරීන් ගෙන්වා කමිටුවක් සදා නව ක්‍රමවේදයකින් මේ කාර්යය ක්‍රියාත්මක කළා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක්. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් කළ කෙනෙක්. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගෙ උපදෙස් අනුව අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනත් රටේ අධ්‍යාපනය නව මඟකට යොමුකළේ එතුමායි. ඒ වගේම අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට පරිගණකය හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම, ස්මාර්ට් පන්ති කාමර ලබාදීම ඇතුළු කටයුතු තුළින් අපේ දරුවන්ට නව තාක්ෂණය තුළින් ජාත්‍යන්තරය ජයගන්න මඟ හෙළිකළේ එතුමා. මේ සියල්ල කළේ අපේ දුප්පත් දරුවන් දැනුමෙන් උගත්කමෙන් පොසත් කර ලෝකය ජයගන්නයි.

ඒ වගේම අද අපේ රටේ මූල්‍ය පාලනය විනිවිදභාවයකින් කෙරෙනවා. අගමැතිවරයා සමඟ සෙල්ලම් කරන්න බෑ. එතුමා සෑම අංශයකම රාජ්‍ය නිළධාරීන්ට විශාල වගකීමක් ලබාදී තිබෙනවා. වැඩක් කෙරෙනකොට නියම ප්‍රමිතියටම විනිවිදභාවකින් යුතුව කෙරෙන්න ඕනෑ. අද ගම්පෙරලිය යටතේ පමණක් අප හාලිඇල කොට්ඨාසයට රුපියල් ලක්ෂ තුන්දහසක් ලබාදී තිබෙනවා. ජනතාවගේ බදු මුදල් නිසිලෙස හසුරුවා ජනතාවගේම සුබසිද්ධිය උදෙසා සංවර්ධන කටයුතුවල යොදවන්න අද පියවර ගෙන තිබෙනවා. මේ ළඟම පාසල හොඳම පාසල ඒ දැවැන්ත සංවර්ධනයේ එක් කොටසක් පමණයි.

හාලිඇල සමූහ ආර්.එම්.විජේරත්න
ඡායාරූප-හාලිඇල සමූහ

 

නව අදහස දක්වන්න