සීනි නැති පැණිබීම රකින්න සීනි සහිත පැණිබීමවලට බදු පැනවීමට අවධානය | දිනමිණ

සීනි නැති පැණිබීම රකින්න සීනි සහිත පැණිබීමවලට බදු පැනවීමට අවධානය

සීනි රහිත පැණිබීම වෙළෙඳ පොළෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සීනි සහිත පැණිබීම සඳහා පනවා තිබූ බදු දින 52ක් පුරා පැවැති දේශපාලන අර්බුදය කාලයේ දී ඉවත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බව ද ඇමැතිවරයා පැවැසුවේය.

සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඊට අනුමැතිය ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශය සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ දී පසුගිය දා (02) සාකච්ඡා කළ අතර‍, එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසුවේ බදු ඉවත් කිරීම මගින් සීනි රහිත පැණිබීම වෙළෙඳ පොළෙන් ඉවත්වන බවය.

මේ පිළිබඳ මුදල් ඇමැතිවරයාගේ අවධානය යොමු විය යුතු බවත් බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා මේ පියවර ගත් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

සීනි ග්රැම් 6ක් අඩංගු පලතුරු බීම සඳහා බදු පැනවීමෙන් තොරව කටයුතු කිරීමටත් අනෙකුත් සාමාන්‍ය පැණිබීම සඳහා බදු පැනවීමටත් මෙහි දී තීරණය කර තිබේ.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න