එකිනෙකාට චෝදනා කිරීමෙන් රටක් ගොඩනගන්න බැහැ | දිනමිණ

එකිනෙකාට චෝදනා කිරීමෙන් රටක් ගොඩනගන්න බැහැ

* අධ්‍යාපනය හා සෞඛ්‍ය නැංවුවොත් රට දියුණු කරන්න පුළුවන්
* රුවන්වැල්ලේ ජල ගැටලුවට විසඳුම් දුන්නා
* නවීන තාක්ෂණය ගමේ පාසල්වල ලබ‍ාදීම අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක්

විවෘත කිරීම් රැසකට එක්වෙමින් අගමැති රුවන්වැල්ලේ දී කියයි

එකිනෙකාට චෝදනා කරගනිමින් රටක් ගොඩගත නොහැකි බවත් වර්තමානයේ කළ යුත්තේ සියලු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැඟීමට ක්‍රියා කිරීම බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොරියාව, ජපානය, චීනය වැනි රටවල් දියුණු වූයේ ඒ රටවල් විසින්ම ගත් උත්සාහය නිසා බවත් ඒ අනුව අලුතින් සිතා වැඩකරනවා නම් වසර පහක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත්කළ හැකි බව අගමැතිවරයා එහිදී සදහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) රුපියල් මිලියන 6241 වියදමින් ආරම්භ කළ විසල් රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව , රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රුවන්වැල්ල විසල් පානීය ජල යෝජනා ක්‍රමය මගින් ප්‍රතිලාභීන් 35000 දෙනෙක් සඳහා පානීය ජලය ලබාදෙනු ලැබේ. ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන 6241ක් වියදම් කර ඇත.

අනතුරුව අගමැතිවරයා රුවන්වැල්ල සුලෙයිමානියා මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව කෑගල්ල සිරි සමන් විද්‍යාලයේ නව තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ලක් සහ ශ්‍රවණාගාරයක් සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව ලක්ෂ හයක් වටිනා පුටු කට්ටලයක් ප්‍රධානය කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රුවන්වැල්ල නව බස් නැවතුම්පොළ හා ක්‍රීඩාංගණය සහ වටරවුම සහ අවට මාර්ග කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සාමාජිකයින් සමග සාකච්ඡාවක් සදහා එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී තරුණ, තරුණියන් ඉදිරිපත් කළ පොදු ගැටලු සියල්ල සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

දැරණියගල පොදු බස්නැවතුම්පළෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව සඳහාද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය. ඒ සඳහා රුපියල් මිලියන 24ක් වෙන්කර තිබේ.

දැරණියගල කොස්ගස්ලන්ද මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය සිසු අයිතියට පත්කිරීම සදහාද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, 2015 ජනාධිපතිවරණයට මා මෙම ප්‍රදේශයට එද්දි ප්‍රදේශයේ ජනතාව මගෙන් ඉල්ලීමක් කළා ජල යෝජනා ක්‍රමයක් ලබාදෙන්න කියා. මා එය ඉටු කරන්න පොරොන්දු වුණා. රුවන්වැල්ලට එම ජල යෝජනා ක්‍රමය අත්‍යාවශය වී තිබුණේ. මෙතෙක් තිබූ ජල යෝජනා ක්‍රම දෙකෙන් 4000කට පමණයි ජලය ලැබුණේ. තුසිතා විජේමාන්න මන්ත්‍රීවරිය හැමදාම මට මතක් කළා ජල යෝජනා ක්‍රමය ගැන. එය අන්තිමට විශාල හිසරදයක් වුණා. හිසරදය දැන් ඉවරයි ජල යෝජනා ක්‍රමය ලබාදුන් නිසා.

කොරියානු රජයේ ආධාර මත මෙය ඉදිවෙනවා. මම භාණ්ඩාගාරයට කිව්වා වහාම මෙම ජල යෝජනා ක්‍රමය සදහා මුදල් ලබාදෙන්න කියා.මේ වන විට ජල යෝජනා ක්‍රමයේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ඔබේ ප්‍රදේශයේ මන්ත්‍රී තුසිතා විජේමාන්න මන්ත්‍රීවරිය නොහිටින්න මෙම වැඩකටයුත්ත කරන්න බැරිවෙනවා. මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කළේ 2014 දි. සල්ලි නැති නිසා එය ආරම්භ කරන්න බැරිවුණා. කොරියානු ණය ආධාර යටතේ මෙය ආරම්භ කිරීමට අපේ ආණ්ඩුවට හැකිවුණා. මෙම ජල යෝජනා ක්‍රමය මගින් පවුල් 35000කට ජලය ලැබෙනවා.

ඒ වගේම මම රුවන්වැල්ල සුලෙයි මානියා විද්‍යාලයටත් ගියා. එහි ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගොඩනැගිල්ලක් සිසුන්ට ලභාදුන්නා, ඒ වගේම රාජසිංහ මධ්‍ය විද්‍යාලයට ගියා එම පාසලෙත් අලුත් ගොඩනැගිල්ල සිසුන්ට ලබාදුන්නා. පාසල් වලට අවශ්‍ය අනෙකුත් උපකරන ලබාදෙන්න මම අධ්‍යාපන ඇමතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. වර්තමානයේ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විශාල දියුණුවක් ලබා තිබෙනවා. ජාතික මට්ටමේ වොලිබෝල් කණ්ඩායමක් මෙම පාසලේ සිටිනවා. මංමාවත් වැඩසටහන යටතේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය දියුණු වෙනවා.

පාසල් ගොඩනැගිලි ලබාදීම්, ජල සම්පාදන ක්‍රම, මංමාවත් වැඩසටහන්, මෙවැනි වැඩසටහන් ගණනාවක් වත්මන් රජය විසින් කරගෙන යනවා. 2015 දී අපි ආණ්ඩුව භාරගන්නා විට විශාල ණය ප්‍රමාණයක් තිබුණා. දැන් ටිකෙන්, ටික අපි ණය ගෙවලා දැන් ආපසු ණය ලබාදීමට ජාත්‍යන්තර රටවල් සූදානමින් සිටිනවා. අපිට ණය ගෙවන්න වසර දෙකක් ගියා. ඒ කාලයේදී ජනතාව ඇහුවා ආණ්ඩුව මොකක්ද කළේ කියා. අපේ උත්සාහය ආර්ථිකය ශක්තිමත් කරන්නයි.

මේ රට දියුණු කරන්න නම් මුලින්ම අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කරන්න අවශ්‍යයි. ඒක සමාජ ආයෝජනයක්. දැන් ස්ටෙන්ස් බෙහෙත නොමිලේ ලබාදෙනවා, රෝහල් සදහා නව උපකරණ ලබාදී තිබෙනවා. සබරගමුවට නව වෛද්‍ය පීඨයක් ලබාදී තිබෙනවා, ඒ නිසා විශාල දියුණුවක් රට තුළ සිදුවෙනවා. රට පුරා විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ක්‍රියාත්මක වී තිබෙනවා. කොළඹ පාසල් වලට ලබාදී ඇති උපකරණ, පහසුකම් ගමේ පාසල් වලටත් ලැබී තිබෙනවා. එය අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක්. ගුරුවරුන් පුහුණු කර තිබෙනවා. අද සිටින සෑම ගුරුවරයෙකුම පුහුණු ගුරුවරුන්. උපාධිධාරී ගුරුවරුන් පමණයි අපි පාසල් වලට යොදවන්නේ. ගුරු හිඟය පිරවීම අපේ බලාපොරොත්තුවයි.

වසර 13ක අධ්‍යාපනය අපි අනිවාර්ය කර තිබෙනවා. විශ්වවිද්‍යාලයට, සංගීතය, නැටුම්, තාක්ෂණය, ක්‍රීඩා වැනි අංශ වලින් ඉදිරියට යන්න අවශ්‍ය පුහුණුව අපි ලබාදෙනවා. 21වැනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපනයට යන්න මූලික පරිගණක දැනුම ලබාදීමට බලාපොරොත්තු වනවා. සුහුරු පංතිකාමර අපි ආරම්භ කළා, කුරුණෑගල ආරම්භ කළා සුහුරු පංතිකාමර සහිත ජාතික පාසලක්. දැන් අපේ බලාපොරොත්තුව සැප්තැම්බර් මාසයේ සිටඋසස් පෙළ සිසුන්ට පරිගණක ටැබ් යන්ත්‍ර ලබාදීමයි. පළමුවෙන්ම ජාතික පාසල් සදහා ඒ ටැබ් යන්ත්‍ර ලබාදෙනවා. පළාත් සභා පාසල් සඳහා ඉන් අනතුරුව පරිගණක ටැබ් යන්ත්‍ර ලබාදීමට බලාපොරොත්තු වනවා. වසර දෙකක් තුළ සෑම පාසලකම උසස් පෙළ පෙළ සිසුන්ට පරිඝනක දැනුම ලබාදීමට කටයුතු කරනවා. ඒ මගින් නවීන අධ්‍යාපනයට යනවා.

මම මුදල් ඇමතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා සෑම ආසනයකටම රුපියල් මිලියන 100ක් ලබාදෙන්න. මේ සියල්ල අපි කරන්නේ ගමේ පහසුකම් වැඩිකරන්න. ගමේ, නගරය අතර තිබෙන වෙනස අඩුකරන්න. විශාල මං මාවත් හැදෙනවා. ආයෝජන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. 21වැනි ශතවර්ෂයට ගැලපෙන ආර්ථිකයක් හැදීම අපේ අරමුණයි. 2050 හේ ඇතිවන තාක්ෂණයට ඇතුළුවීමට අපි සූදානමින් සිටිය යුතුයි. ඒ සදහා පහසුකම් හැදිය යුතුයි ඒ නිසයි ගම්වල පහසුකම් දියුණු කරන්නේ. විශාල මහා මාර්ග පද්ධතියක් හදනවා මහනුවර සිට හම්බන්තොට දක්වා. දෙවන අදියරේ දඹුල්ල, ත්‍රිකුණාමලයට එම මාර්ග පද්ධතිය දියුණු කරන්න බලාපොරොත්තු වනවා. ඉදිරි වසර 10 තුළ විශාල වෙළෙඳ කලාප හදනවා. රුහුණේ අක්කර 10000 වෙන්කළා වෙළෙඳ කලාප සහ තොරතුරු තාක්ෂණ ගම්මාන හදන්න. බිංගිරියේ අක්කර 1000ක් වෙන්කර තිබෙනවා. කළුතර, අවිස්සාවේල්ලේ වෙළෙඳ කලාප හදන්න තිබෙනවා.

අපේ ඊළඟ අරමුණ වන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. බෝම්බය මගින් අවාසිය ඇතිවුණත්. ලංකාව තාමත් සංචාරක ලයිස්තුවේ ලෝකයේ පළමු රට වී තිබෙනවා. අලුතින් සිතන්න තිබෙනවා කෘෂිකර්මය නවීකරණය කිරීමට. මේ සියල්ල කරන්න තොරතුරු තාක්ෂණය දියුණු කළ යුතුයි. මේ ණය බරින් මිදෙන්න නම් අපි අපනයනය කළ යුතුයි. ජපානය හැදුණේ අපනයනය මගින්, චීනය, කොරියාව, හැදුණේ අපනයන කරලයි. ඇයි අපට කරන්න බැරි. තාමත් දියුණු වී තිබෙන්නේ එක් ථේරවාදී බුදුදහම තිබෙන රටක් පමණයි ඒ තායිලන්තය. අපිටත් හැකියි ඒ වගේ ආයෝජන මගින් දියුණු වීමට. බුදු දහම තායිලන්තයට ගෙන ගියේ අපියි. දැන් අපිට තායිලන්තයෙන් ඉගෙනගැනීමට හැකිවෙයි කොහොමද දියුණු වෙන්නේ කියා.

අපේ ප්‍රශ්න වලින් අපිම ගොඩයායුතුයි. වෙනකවුරුත් රටවල් නෑ අපිව ගොඩගන්න. අපිට ශක්තිය තිබෙනවා ගොඩ එන්න. අනාගතය දිහා බුද්ධිමත්ව බැලිය යුතුයි. අපි හැමදාම එක තැන ඉදිමින්, අතීතය ගැන කතාකරමින් සිටිනවාද, ජාතිවාදය , ආගම්වාදය ඇතිකරගත්තොත් අවාසිය ඇතිවෙන්නේ ලංකාවටමයි. දැන් අපි අලුතින් සිතා ඉදිරියට යා යුතුයි. විශේෂයෙන්ම දේශපාලන නියෝජිතයින් අලුතින් සිතිය යුතුයි. දේශපාලන පක්ෂ වලට බෙදී එකිනෙකා ඇනකොටාගෙන හරියන්නේ නෑ.

මේ රට ඉදිරියට ගෙනයාම සදහා වෙහෙසෙන්නේ අනාගතය බාරගැනීමට සිටින දූ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කිරීමටයි. එය අපේ යුතුකමයි. අපි අපේම ශක්තියෙන් ගොඩනැගිය යුතුයි. තායිලන්තය, කොරියාව, ජපානය වැනි රටවල් ගොඩගත්තේ කවුරුත් නෙමෙයි එම රටවලම මිනිස්සු. මා කුඩා කාලයේ සිංගප්පූරුවේ මිනිස්සු අපේ වරායේ වැඩකළා. දැන් සිංගප්පූරුවට ගිහාම අපේ මිනිස්සු ඒ ගෙවල්වල වැඩකරනවා. මැලේසියාවේ මිනිස්සු ලංකාවට එනවා බෙහෙත් ගන්න. අපි අද සිංගප්පූරුවට යනවා බෙහෙත් ගන්න. අපි ගියේ පරණ මාර්ගයක. අපිම අපේ ශක්තියෙන් ගොඩ ආ යුතුයි. වෙන මාර්ග නෑ. ලෝකයේ රටවල් දෙස බලා ඒ ආකරයට අපි ලංකාව දියුණු කළ යුතුයි.

අපේ රට අපි විසින්ම ගොඩගන්නවා කියා සිතා ඊළඟ වසර පහ තුළ ආයෝජන ලබාගෙන, සංචාරක ව්‍යාපාරය දියුණු කරමින්, තාක්ෂණය දියුණු කර ලංකාව ගුවන් හා වරාය ක්ෂේත්‍රයේ කේන්ද්‍රය කළ හැකියි. ලංකාව ඉන්දියන් සාගරයේ පොහොසත් රට කළ යුතුයි. ඒ සඳහා අපි සියලු දෙනා පක්ෂ බේදයකින් තොරව එක්වෙමු.

එහිදී අදහස් දැක්වූ තුසිතා විජේමාන්න මන්ත්‍රීවරිය-මෙම ජල යෝජනා ව්‍යාපෘතිය මගින් 2014 වර්ෂයේ ආරම්භ කළා. සම්පූර්ණ මුදල් ලැබුණේ නෑ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2015 මැතිවරණ වේදිකාවේ වූ පොරොන්දුවක් මත රුපියල් කෝටි 624ක මුදලක්මේ සදහා යොදවා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකින් 35000ක ජනතාවකට මෙයින් මුදල් ලැබෙනවා. ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මා ස්තූතිවන්ත වනවා.

මෙම අවස්ථාව සඳහා මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම්, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හියොන් ලී, දැරණියගල එක්සත් ජාතික පක්ෂ සංවිධායක රංජිත් පොල්ගම්පොළ යන මහත්ම මහත්මීහු ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

අසේල ලියනගේ
ජායාරූප - හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න