වියළි කාලගුණයෙන් දිසා 17ක 4,50,000කට පීඩා | දිනමිණ

වියළි කාලගුණයෙන් දිසා 17ක 4,50,000කට පීඩා

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසක් පමණ පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්වල ජනතාව එලෙස පීඩාවට පත්ව ඇති බවඑම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටී. වියළි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නිරත දිග මෝසම හා අන්තර් මෝසම අපේක්ෂිත පරිදි නොලැබීම මෙම තත්ත්වයට හේතුව වී තිබේ.

ඉදිරි කාලය තුළ මෙරට බොහෝ ප්‍රදේශවලට කටුක වියළි කාලගුණ තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට මේ අනුව අදහස් පළ වී තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්තවලට අනුව වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බැවින් වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වුවන් සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග එක්ව මේ වන විට ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර බදුල්ල, මාතලේ, නුවරඑළිය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක වලින් කැළෑ ගිනි තැබීම් තත්ත්වයන් රැසක් වාර්තා වී ඇති බව ද කීය.

මෙවැනි වියළි කාලගුණික තත්ත්වයක් යටතේ ගිනිතැබීම පාරිසරික හා සත්ත්ව ගහණයට බෙහෙවින්ම අහිතරක බලපෑම් එල්ලවන බැවින් එවැනි හානිකර කටයුතුවලින් වැලකී සිටින ලෙස ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න