දේශීය සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය අධිකරණ තීන්දුව මඟින් සියලු අංශ විධිමත් කරනවා | දිනමිණ

දේශීය සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය අධිකරණ තීන්දුව මඟින් සියලු අංශ විධිමත් කරනවා

අනුර ප්‍රේමලාල්

චිත්‍රපට ‍සංස්ථාවේ සභාපතිනි

දේශීය සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ලැබී තිබෙන අධිකරණ තීන්දුව උපයෝගි කරගෙන ක්‍රියා කරන අතර මීට පටහැනිව ක්‍රියා කරන අයට එරෙහිව පියවර ගනිමින් ඉදිරි සති දෙක තුල සියලු අංශ විධිමත් කිරීමට අවශ්‍ය රෙගුලාසි නිකුත් කරන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට ‍සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ අධිකරණ තීන්දුවක් මගින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සතුව තිබූ බෙදාහැරීම ඇතුළු අනෙකුත් කටයුතු සිදු කිරීමේ බලය යළි ලබාදීමෙන් පසු පළමු චිත්‍රපටය බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදී සිනමාශාලා හිමියන් සමඟ සුහද සංවාදශීලි හමුවකට හා කලාකරුවන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වීමක් ද ඉකුත්(5) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී සිදු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිනිය මෙසේද කීය...

සිනමාවට ආදරය කරන කලාකරුවන් රොදබැඳගත යුතුයි. සදේශීය හා විදේශීය චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ බලතල ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අනුමත පනත අනුව පූර්ණ අධිකාරි බලතල තිබෙන්නේ සංස්ථාවට බව අධිකරණය තීන්දුවක් දුන්නා ඉකුත් මාසයේ (18) එදා සිට දේශීය හා විදේශීය චිත්‍රපට බෙදා හැරීමේ බලතල තිබෙන්නේ සංස්ථාවටයි. සිංහල චිත්‍රපට පසුගියදා(5) සිට බෙදාහැරීමේ කටයුතු සිදු වෙනවා කිසිදු ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි චිත්‍රපට බෙදාහැරීමේ අනවශ්‍ය අධිකාරි බලයක් තියාගෙන එක්කෙනෙක් දෙන්නෙක් සිටිනවා. ඒ හැර චිත්‍රපට ආනයනකරුවෝත් කටයුතු කිරීමට අපි සමඟ එකඟවෙලයි මේ වන විට සිටින්නේ.

මේවාට පටහැනිව කටයුතු කරන අය සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. අපි මේ පියවර ගන්නේ සියලුම පාර්ශ්ව ආරක්ෂා කරගනිමින් සිනමාව රැකගෙන අවසානයේ ප්‍රේක්ෂකයාට සර්ව සාධාරණය කරන්නයි. ඒ අනුව අද දවසේ සිනමා ශාලා හිමියන් දැනුවත් කළා. ඊට සිනමා ශාලා හිමියන් 90%ක් වගේ මෙම හමුවට සහභාගිවෙලා සිටියා. අධිකරණ තීන්දුවත් සමඟ දේශීය චිත්‍රපට අද බෙදීම ආරම්භ වෙනවා.

මීට පටහැනිව ක්‍රියා කරන අය පෙන්වා දෙන්නේ මෙය චිත්‍රපට ආනයනයට බාධාවක් ලෙසයි. නමුත් චිත්‍රපට ආනයනයට කිසිදු බලපෑමක් මේ නිසා සිදුවන්නේ නැහැ. නමුත් දැන් ඒ අයට බෙදාහැරීමේ නෛතික බලයක් නම් දැන් නැහැ. මීට අමතරව කලාකරුවන් විවිධ අවස්ථාවලදී දේශීය සිනමාවේ සංවර්ධනය උදෙසා ඉදිරිපත් කර තිබෙන යෝජනා ද සැළකිල්ලට ගනිමින් ඉදිරි සති දෙක තුල සිනමා කර්මාන්තයේ සියලු අංශ විධිමත් කොට පවත්වාගෙන යෑමට අවශ්‍ය නීති සම්පාදනය කර ඉදිරිපත් කරනවා.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ අනුර රත්නායක මහතා...

හිටපු අගමැතිනි සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිණියගේ මූලිකත්වයෙන් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආර්.එස්.පෙරේරා මහතා ඉදිරිපත් කළ 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රගතිශීලි ලෙස ගලාගෙන පැමිණියා. 1983 කලබල ඇතිවී ගිනිබත්වීමට අසු වුණත් 1984 වසරේ සිනමාපට තිහක් පමණ ඉදිරිපත්වුණා. නමුත් අසුඅට නවය සමයේ ඇතිවූ තරුණ අසහනය නිසා සිනමාවේ පසුබෑමක් ඇති වුණා. පසුව 1999 හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේ තිස්ස නිලවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළක් සකස් වුණා. සිනමාවේ වැඩිමූල්‍ය ප්‍රතිශතයක් පෞද්ගලික අංශයට මේවන විට ගියා. එහිදී ඒ අය වසරකට චිත්‍රපටයක් දෙකක් නිපදවන්න එකඟ වුණත් ඒවා සිදුවුණේ නැහැ. මෙහිදී අබලන්වන සිනමාශාලා ප්‍රතිසංස්කරණය කරන්න කියා එකඟවුණත් ඒ කටයුතුත් සිදුවුණේ නැහැ. රසික ප්‍රවර්ධනය ක්‍රමයෙන් අඩුවුණා. ඇතැමුන් මීට රූපවාහිනියේ බලපෑමක්වූ කිව්වත් එය පිළිගන්න බැහැ. එහිදී හොඳ චිත්‍රපට ඒ අය ‍තෝරාගන්නවා ඉතිරි තිබුණු ඒවා රිද්ම මණ්ඬලයේ ප්‍රදර්ශනය කරන්න වුණා.

2018 මැයි 18 එවකට විෂය භාර ඇමැති ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා එඩිතර තීන්දුවක් ගත්තා මේ කාර්ය සඳහා.

පසුව සජිත් ප්‍රේමදාස මහතා මේ විෂය භාරගත්තාට පසු මේ කටයුත්ත ශක්තිමත් කොට ක්‍රියාත්මක කෙරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ අධිකරණ තීන්දුව ලැබුණා.1971 අංක 47 පනතේ තිබූ ලෙස පෙර පරිදි අපට අයිතිය බෙදාහැරිම. ඒ අනුව මණ්ඬල තුනක් ඔස්සේ මෙය සිදු කෙරෙනවා. දැනට සිංහල චිත්‍රපට එකසිය විස්සක් පමණ ඉතිරිවෙලා තියෙනවා. එය කොටස් තුනකට බෙදා මේ මණ්ඬලවලට ලබා දෙනවා.

ඒ අනුව ගුණාංග දහයක් යටතේ මේ චිත්‍රපට යම් පරීක්ෂණයකට ‍යොමු කරනවා. ඊට අමතරව තවත් කමිටුවක් තියෙ නවා ඒ අය ලබාදෙන වාර්තාවත් සළකා බලමින් එම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ යුතු මණ්ඬලය තීරණය කරනවා. මෙම සිනමාපට කලාත්මක, වාණිජ, කාලාත්මක හා වාණිජ මිශ්‍ර වශයෙන් වෙන් කර ගැනීමක් සිදුවෙනවා. මෙහිදී හැමෝටම අවස්ථාව ලැබෙනවා. එපමණක් නොව ‘ජය ඉසුර‘ නමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන සීයක් සිනමා ශාලා ප්‍රතිසංස්කරණයට සජිත් ප්‍රේමදාස මහතා ලබා දී තියෙනවා. මේ යටතේම හොඳ චිත්‍රපට විස්සක් විසිපහක් නිර්මාණය කරන්න ණය ලබාදෙන්න වැඩපිළිවෙළක් තියෙනවා. ඉකුත් වසර දහඅට තුල මේ පනත් පිළිබඳ සොයා බලා නැහැ. ඒ අනුව සිනමා ශාලාවක් කැඩුවොත් ඒ ඉදිකරන සුපර්මාර්කට් එකත් සමඟ සිනමා ශාලාවක් හදන්න ඕනේ. අපෙන් ඉවත්වූ සිනමාපට නිෂ්පාදකයන් යළි ගෙන්වීමට තමයි මේ වැඩසටහන් තියෙන්නේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා...

චිත්‍රපට සංස්ථාවට ලැබී තිබෙන බෙදාහැරීමේ අයිතිය උදුරා ගැනීමට ව්‍යාපාරික පිරිසක් හෝ සිනමාවේ රැඳී සිටින පිරිසක් බලපෑම් කරනවා නම් ඒ ගැන විමසා බලන්න කියා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා සිනමාවේ ඉතිහාසයේ නාමයෙන්. මෙම තීන්දුවට එරෙහිව යම් සමාගමක් බලහත්කාරි කටයුත්තක නියැලෙන අතර ඒ පසුපස දේශපාලනයක් තිබෙන බව පෙනෙනවා.

මෙහිදී අචාර්ය සුමිත්‍රා පීරිස් මැතිනිය, මහචාර්ය සුනිල් ආරියරත්න, රවීන්ද්‍ර රණ්දෙණිය, බෙනට් රත්නායක, ශ්‍රියාණි අමරසේන, සුමනා අමරසිංහ, නීටා ප්‍රනාන්දු, බර්මින් ලයිල් ප්‍රනාන්දු යන ප්‍රවීණ කලාකරුවන් හා දුලිකා මාරපන, සංජීව පුෂ්පකුමාර, වසනත අතපත්තු ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙහිදී අදහස් දක්වමින් සංස්ථාවට ලැබී ඇති බලතල අනුව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්හ.

ඡායාරූපය- සමන්ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න