ජනතාව රාජ්‍ය බලය ලබාදෙනවා නම් වැඩ පෙන්වනවා | දිනමිණ

ජනතාව රාජ්‍ය බලය ලබාදෙනවා නම් වැඩ පෙන්වනවා

 ‘රනිදුගම’ උදාගම්මානය ජනතා අයිතියට පත්කරමින් ඇමැති සජිත් කියයි

රාජ්‍ය බලය නමැති හැන්ද රටේ ජනතාව විසින් තමන්ට ලබාදෙනවා නම් එදිනට ජාත්‍යන්තරය සමඟින් ශක්තිමත්ව ගනුදෙනු කරමින් තමන් වැඩ පෙන්වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද ඇතැම් පිරිස් ‘සජිත් ප්‍රේමදාසගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද’ කියා ප්‍රශ්න කරන බවත්, තමන් පිටරටවල් සමඟින් ගනුදෙනු කරන විට මාතෘභූමියට අගයක් එක් කරමින් ප්‍රතිඵලදායි සංවර්ධනයක් දියත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී එතුමා සමඟ සාකච්ඡා කර තමන් කළ ඉල්ලීම මත මෙරට නිවාස සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 12,000 ක ආධාරයක් ඉන්දීය රජය විසින් ලබාදුන් බව පැවසූ අමාත්‍යවරයා, ‘සජිත් ප්‍රේමදාසගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද’ කියා ප්‍රශ්න කරන පිරිසට එය හොඳ පිළිතුරක් බවත්, අද දින ජනතා අයිතියට පත්වන ‘රනිදුගම’ උදාගම්මානයද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථක ප්‍රතිඵලයක් බවත් ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල රන්පොකුණගම ප්‍රදේශයේ ඉදිකළ “රනිදුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට පෙරේදා (06) සහභාගි වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 213 වැනි ආදර්ශ ගම්මානය මෙය වේ.

“රනිදුගම” උදා ගම්මානය නිවාස 24 කින් සමන්විත වන අතර මෙය ඉන්දියානු රජයේ නිවාස ආධාර මත ඉදිකළ ගම්මානයකි. එය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 333 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මේ උදා ගම්මානය සමන්විතයි.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 300 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 946 කට රුපියල් ලක්ෂ 2048 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 100 ක් සඳහා රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’ පවුල් 55 ක් සඳහා රුපියල් ලක්ෂ 55 ක් වටිනා නිවාස ණය හා ආධාර, ප්‍රතිලාභීන් 42 කට රුපියල් ලක්ෂ 177 ක් වටිනා ‘විරුසුමිතුරු’ නිවාස ආධාර, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 6 ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා ප්‍රතිලාභ සහ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 65 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමද ඇමැතිවරයා අතින් මෙහිදී සිදුකෙරුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජලනි ප්‍රේමදාස, වැඩබලන ඉන්දියානු මහකොමසාරිස් ආචාර්ය ෂිෆාක් එම් අංගුලේ, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව එක්ව සිටියහ.

නව අදහස දක්වන්න