ගමට තාක්ෂණය ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කළා | දිනමිණ

ගමට තාක්ෂණය ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කළා

ශ්‍රී ලංකාවේ තාක්ෂණ විප්ලවයක් ඇති කිරීම සඳහා සවිමත් දෑතින් පෙහොසත් රටක් නිර්මාණය කිරීමට ගමට තාක්ෂණය ගෙන යාමේ සාර්ථක වැඩපිළිවෙළක් සකස් කර ඇති බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (04) විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

ඒ සඳහා ශිල්ප සේනා ප්‍රදර්ශනය මේ මස 18 දින සිට 21 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මේ බව ද ප්‍රකාශ කළේය.

මේ ප්‍රදර්ශනයේ දී නවීන තාක්ෂණය, නීලහරිත කලාප, නව නිපැයුම්, නවෝත්පාදන, දැනුම මිනුම, විනෝදය හා වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධි තාක්ෂණික කලාප, ව්‍යවසායකත්ව වේදිකාව, පාසල්, විශ්ව විද්‍යාල, විවෘත - නව නිපැයුම් , රැකියා පොළ , විනෝදාස්වාදය හා වෙළඳ කුටි, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා ආධුනිකයන් බඳවා ගැනීම, ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික හා විදේශ ගමන් බලපත්‍ර සේවාවන් ඇතුළු සේවාවන් රැසක් මෙහිදී සිදු කරනවා.

මේ ප්‍රදර්ශනයේ දී මේ දින 04 තුළ විශාල වෙළදාමක් කරගත හැකි වෙනවා. අපිට ලොක්යේ 88 වැනි ස්ථානයට එන්න පුළුවන් වී තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය හැර අනෙක් සියලු අමාත්‍යාංශ මේ සඳහා සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කළා. මේ ප්‍රදර්ශනයේ දී පොත් පත්වලට විශාල වට්ටමක් ලබාදීමට අදහස් කර තිබෙනවා. සීමිත සම්පත්වලින් විශාල කාර්යයක් කරීමට බලාපොරොත්තු වෙනවා.

මෙය රටේ දරු පරපුරට දෙන වැදගත් අවස්ථාවක් බවත් මේ සඳහා වෙළඳ කුටි ලබා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා කීය.

අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටි මහතා ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

මානෙල් පුෂ්ප කුමාරි

 

නව අදහස දක්වන්න