නව අධ්‍යාපන පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත කරනවා | දිනමිණ

නව අධ්‍යාපන පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත කරනවා

සිතාරා සේනානි

ඇමැති අකිල විරාජ්

නව අධ්‍යාපන පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත කර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ 'සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ' ජාතික වැඩසටහන යටතේ පිරිවෙන් සඳහා කාර්යාල ගොඩනැඟිලි ආධාර, සනීපාරක්ෂක පද්ධති ආධාර ප්‍රදානය කිරීම සහ නවක පරිවේණාචාර්යවරුන් 163 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගිය දා (3) පැවති උත්සවයේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා,

'නව අධ්‍යාපන පනත හෙට අනිද්දා සම්මත කර ගැනීමට කටයුතු කරනවා. 1939 පළමුවැනි අධ්‍යාපන ආඥා පනත ඉදිරිපත් වීමෙන් පසු විවිධ අණ පනත් ආවත් හරියට අධ්‍යාපන පනතක් තිබුණේ නෑ. අපේ අමාත්‍යාංශය ඒ සියල්ලම ආවරණය වන ආකාරයට අලුත් වෙනස්වීම් ද සමඟ නව අධ්‍යාපන පනත සකස් කර තිබෙනවා. එය ඵෙතිහාසික තීන්දුවක්' .

පිරිවන් සඳහා අවශ්‍ය පරිපාලන ගොඩනැඟිලි, වැසිකිළි පද්ධති විතරක් නොවෙයි තවත් අවශ්‍යතා වෙනුවෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. රුපියල් මිලියන 70ක පමණ වියදමින් හොරණ විද්‍යාරතන පිරිවෙනේ තට්ටු තුනක ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා මෙම 5 වැනිදා අපි මුල්ගල තබනවා. එහි ස්වාමීන් වහන්සේ එක්දහස් ගණනක් අධ්‍යාපනය ලබනවා. අපි ආණ්ඩුවක් වශයෙනුත් හොඳ බෞද්ධයන් වශයෙනුත් අපට ඕනෑකම තිබෙනවා බෞද්ධ ධර්මයට මුල්තැන දෙනවා වගේම, බෞද්ධ සංස්කෘතියට මූලිකත්වය ලබා දීමට.

ගතවූ වසර හතරක කාලසීමාව ඇතුළත වෙහෙර විහාරස්ථානවලට, පිරිවෙන්වලට මෙන්ම බෞද්ධකම ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි විශාල විශාල වැඩකොටසක් ඉටු කළා. මා වෙත මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව තිබූ අවදියේ එකවර ලක්ෂ 5 බැගින් පන්සල් 1500කට ලබා දීමට කටයුතු කළා. ආධාර නොලැබෙන පන්සල්වලට ආධාර ලබා දුන්නා. තවත් 1000කට වැඩි ප්‍රමාණයකට ද එසේ ආධාර ලබා දීමට ඇස්තමේන්තු සකස් කර අවසන් කළා. අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවේ වැලි ඇතිරීම සිදුකළා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් දීඝවාපියට කෝටි 75ක් වියදම් කරන්න වෙන් කර, එම කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට විශාල මුදලක් වෙන් කළා. අපට වුවමනාවි තිබුණේ විධිමත් ක්‍රමවේදයකට අනුව පිරිවෙන් අධ්‍යාපනය දියුණු වෙනවා දකින්නයි. ඒවා අපි සන්දර්ශන පවත්වමින්, මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරමින් කෙළේ නෑ. ඒ නිසා තමයි අපිට බොහෝ විට බැනුම් අහන්න සිද්ධ වෙන්නේ.

මෙහෙනින් වහන්සේලාට අධ්‍යාපනය ලබන්න මෙතෙක් ක්‍රමවේදයක් තිබුණේ නෑ. ඒ නිසා අපි ඒ සඳහා සීල මාතා ව්‍යාපාරය ආරම්භ කර ඒ ආයතන සම්බන්ධීකරණය කරන්න මෙහෙනින් වහන්සේ නමක් පත් කළා. එම ආයතනවලටත් අපි ගොඩනැඟිලි ලබා දෙනවා. ‍ළඟම පාසල ‍හොඳම ව්‍යාපෘතිය මඟින් මේ රටේ පාසල් 1500ක පමණ තට්ටු ගොඩනැඟිලි ඉදිකළා. එයින් එකවර පාසල් 200ට ගොඩනැඟිලි විවෘත කළා. තවත් පාසල් 250ක්‍ෙ4 වැනිදා විවෘත කරනවා. මේ ගොඩනැඟිලි සියලු පහසුකම්වලින් සමන්විතවයි ඉදිකළේ. තවත් පාසල් 5500ක පමණ අලුත්වැඩියා කිරීම් සඳහා විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා. සමහර ජාතික පාසල්වලට අඩුම තරමින් ලක්ෂ 100 කට වැඩිය ලැබුණා, තවත් පාසල්වලට අවශ්‍යතාව අනුව මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා. කවදාවත් මේ විදිහට පාසල්වලට සහ විහාරස්ථානවලට මුදල් ලැබුණේ නෑ. වචනයෙන් බෞද්ධයන් වී වැඩක් නෑ, නැතිනම් තමන්ගේ බෞද්ධකම විකුණාගෙන වැඩක් නෑ දේශපාලන බලය ගන්න. සමහර දේශපාලන පක්ෂ එහෙම කළත් අපි එහෙම කළේ නෑ. අපි අපේ හදවතින් ම අපට කරන්න වුවමනා දේ විහාරස්ථානවලට වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයටත් කළා.

අපි පාසල් දරුවන්ට මෙන්ම, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ස්වාමීන්වහන්සේලාටත් රුපයල් ලක්ෂ 2ක සුරක්ෂා රක්ෂණාවරණය ලබා දෙනවා.අපි ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය කැබිනට් පත්‍රිකා 11ක් ඉදිරිපත් කර සම්මත කර ගත්තා. තව මාස දෙකකින් පමණ ජාතික පාසල්වල උසස් පෙළ සියලුම දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට කටයුතු කරනවා. තවත් මාස කීපයකින් අපි උසස් පෙළ කරන සියලු දරුවන්ට ඒ පරිගණක ලබා දෙනවා. එමඟින් අපේ දරුවන් නව දැනුමෙන් බලසම්පන්න ජාතියක් බවට පත් කිරීමට හැකි වෙනවා. අපි අනාගත ලෝකයට යනවා නම් මේ නව තාක්ෂණයත් සමඟ ගමන් කිරීමට සිදුවෙනවා. එසේ නොවුණොත් අපි පසුගාමී ජාතියක් බවට පත් වෙනවා.

ජාතික පාසල්වල පවතින සියලු ම පුරප්පාඩු අපි ප්‍රථම වතාවට පාසල්වලින් ගෙන්වා ගෙන පුවත්පත්වල දැන්වීම් පළ කළා. විනිවිද පෙනෙන විදිහට ඒ පත්කිරීම් සිදුකිරීමට කටයුතු කරනවා. ඒ ඕනෑම පාසලක පුරප්පාඩුවලට ඕනෑම කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්. මේ පුරප්පුඩු දහස් ගණනම අපට දේශපාලනයෙන් පුරවා ගන්න පුළුවන් වුණත් අපි එහෙම කළේ නෑ.පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත වෙලගෙදර, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ගොඩනැඟිලි අධ්‍යක්ෂ ආචාර්ය යූ.ජී.වයි. අබේසුන්දර මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

පිරිවෙන් අධ්‍යාපන උපදේශක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේඛකාධිකාරි කුලියාපිටිය දියතලමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරාධිපති අත්තංගනේ සාසනරතන නාහිමියෝ ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.යූ. ප්‍රේමතිලක මහතා ද, පිරිවෙන් ශාඛාවේ නිලධාරීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න