කිසිදු රජයකින් නොලැබුණු බහුකාර්ය තාක්ෂණික ගොඩනැඟිල්ල ආණ්ඩුවෙන් ලබා දුන්නා | දිනමිණ

කිසිදු රජයකින් නොලැබුණු බහුකාර්ය තාක්ෂණික ගොඩනැඟිල්ල ආණ්ඩුවෙන් ලබා දුන්නා

විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ පරිවේණාධිපති මහාචාර්ය ලබුගම නාරද හිමි

හොරණ විද්‍යාරත්න පිරිවෙනට හා විද්‍යායතනයට කිසිදු රජයකින් නොලැබුණු බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ල මේ රජයෙන් ලබාදීමට කටයුතු කර තිබෙන බව හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ පරිවේණාධිපති මහාචාර්ය ලබුගම නාරද හිමියෝ පවසති.

මෙතෙක් කල් පිරිවෙන විසින් ගොඩනැගූ දෙයක් දේශපාලනඥයන් පැමිණ විවෘත කරනු ලැබූ බවත් මේ රජයෙන් ලබාදෙන බහු තාක්ෂණික ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපාදන මත ඉදිකරන ගොඩනැගිල්ලක් බවද නාරද හිමියෝ පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලබුගම නාරද හිමියෝ මෙසේද කීහ.

අවුරුදු 90ක ඉතිහාසය තුළදි අපට ලැබුණු යම් යම් දේ සම්බන්ධයෙන් කෘතගුණ දැක්වීම උත්සවයක් විදිහට අනූව සංවත්සරය පවත්වන්නේ. හොරණ නගර‍යේ සිට පාසල දක්වා එන ගමන් මාර්ගය උ‍සස් පෙළ දරුවන් විසින් පාසල දෙපැත්ත පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදු කරනවා. හොරණ බස් නැවතුම හුණු පිරියම් කිරීමක් සිදු කරනවා. පාගමනක් සිදු කළා. පාගමනේ ප්‍රධාන අරමුණු කිහිපයක් තිබෙනවා.

ළමා අයිතිවාසිකම් සුරැකීම, සහජීවනය, සිසු අයිතිවාසිකම් කියන කාරණා මුල් කරගෙන තමයි පාගමන සූදනම් කළේ. 4දා පෙරවරුවේ භික්ෂුන් වහන්සේලා සියක් නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පැවැත්වුණා. ඒ පිණ්ඩපාතයෙන් ලැබෙන හැම දෙයක්ම පිරිවෙන අවට පදිංචි වී සිටින අඩු ආදායම් ලාභී පවුල්වලට ලබාදෙන්න කටයුතු කරනවා.

වසර අනූවක් තිස්සේ අපට උදව් කළ අයට කෘතගූණ දැක්වීමක් ලෙස අප කටයුතු කරන්නේ. පස්වැනිදා හවස හයට බහු තාක්ෂණික ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අනූව වසරට මෙතෙක් රජයකින් නොලැබුණ ප්‍රධානයක් තමයි අපට මේ ලබාදී තිබෙන්නේ. අපි හදපු ගොඩනැගිල්ලක් තමයි වෙනදාට නම් දේශපාලනඥයෙක් ඇවිත් ‍විවෘත කළේ. මේ ගොඩනැගිල්ල පළමු වතාවට රජය මැදිහත් වෙලා ලබාදෙන ගොඩනැගිල්ලයි. ඒ සම්බන්ධවත් අපගේ කෘතඥතාවය රජයට හා ඇමැතිතුමාට පිරිනමනවා.

නව අදහස දක්වන්න