අය­වැ­යෙන් යෝජ­නා­ කළ හරිත සමාජ පිහිටුවීම අද | දිනමිණ

අය­වැ­යෙන් යෝජ­නා­ කළ හරිත සමාජ පිහිටුවීම අද

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලම ආවරණය වන පරිදි අලුතින්ම වටිනා පැල ලක්ෂ 25ක් සිටුවීමේ හා හරිත පරිසරයක් බිහිකිරීමේ 2019 අයවැය යෝජනාව ක්‍රියාත්මකකිරීමට මුලපුරමින් “හරිත සමාජ” පිහිටුවීම අද කොළඹ දී සිදුකෙරේ.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ වසර සඳහා වූ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම ආවරණය වන පරිදි පැල ලක්ෂ 25ක් සිටුවීමේ ඉලක්කගත වැඩපිළිවෙළ හඳුන්වාදෙන ලදී. ඒ අනුව පාසල් දරුදැරියන් හා සමාජයේ ප්‍රගමනයට දායක වන ස්වෙච්ඡා සේවක පිරිස් එක්කොට හරිත සමාජ පිහිටුවීම අද උදේ 9.00ට කොළඹ ‍හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සිටින නේවාසික සම්බන්ධීකාරක රෂියා පෙන්ඩ්ඒස්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්. එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහභාගිවීමට නියමිතය.

රටපුරා භෞතික සම්පත් ගොඩනැගීමේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර වඩාත් පරිසර හිතකාමී හරිත පරිසරයක් නිර්මාණයකිරීමට දායකවන මෙම වැඩපිළිවෙළ අදටත් වඩා මතු පරපුරේ දියුණුව උදෙසා ඉටුකරන ජාතික වගකීමක් ලෙස සලකා ක්‍රියාත්මක කිරීමට හවුල්වන හරිත සමාජ පිහිටුවීම ඉතා වැදගත් අවස්ථාවක් බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න