කටු­පොල් කියන තර­මට කටු­කද? | දිනමිණ

කටු­පොල් කියන තර­මට කටු­කද?

ඔයිල් පාම් යනුවෙන් හඳුන්වනු ලබන බෝගය ශ්‍රී ලංකාවට ප්‍රමාද වී හඳුන්වා දුන්නද එය තම නිජභූමිය වූ බටහිර අප්‍රිකාව ආශ්‍රිතව මිනිස් පරිභෝජනය සඳහා තෙල් ලබා ගන්නා වගාවක් ලෙස වසර 5000 වඩා වැඩි කාලයක් භාවිතා කර තිබේ. මෙම තෙල් මුඩු වීමට ඔරොත්තු දෙන අතර, විටමින් Eබහුලය. පාම් ගසේ ඵලදාව අනිකුත් තෙල් ලබාදෙන සියලු භෝග අභිබවා ඇති අතර ඒකක ක්ෂේත්‍ර ඵලයකින් වැඩිම තෙල් ප්‍රමාණයක් ලබා දෙන්නේ මෙයයි.

මෙතරම් පැහැදිලි වාසි තිබියදීත් පිරිසක් දිගින් දිගටම ඔයිල් පාම් වලට විරුද්ධ වන්නේ, රුපියල් බිලියන 30 කට වැඩි ආදායම් ලබන ව්‍යාපාරයක් අහිමි වේ යැයි බිය වූ, තෙල් ආනයනකරුවන්ගේ අවශ්‍යතාවයකට දැයි සැකයක් මතු වේ. අප එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ අතරින් 50% ක් නිපදවා ඇත්තේ පාම් ඔයිල් වලින් බව එයට විරුද්ධව හඬ නඟන උගතුන් බොහෝ දෙනෙක් දනී. නමුත් ඒ බව නොදන්නවා මෙන් ක්‍රියා කරයි.

මේ වගාව සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ රබර්, තේ වැනි වගාවන් වලට යොදාගත් වතු සමාගම් වලින් පාලනය වන ඉඩම් ය. වනාන්තර විනාශයට ලක්වන කිසිඳු බිම් ප්‍රමාණයක්, ඔයිල් පාම් සඳහා යොදා නොගනී. පොල් තෙල් සහ පාම් ඔයිල් අතර වැඩි වෙනසක් නොමැති බව නොරහසක් වුවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාරයට ගන්නා තෙල් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 30 කට වැඩි ප්‍රමාණයක් වැය වෙයි.

මෙකී කාරණා වලට අදාළ වැසි වනාන්තර විනාශය සිදු වන්නේ ඉන්දුනීසියාව වැනි රටවලයි. ශ්‍රී ලංකාවේ එකදු අක්කරයක හෝ වනාන්තර ඔයිල් පාම් වගාවෙන් විනාශ වී නැත. මන්ද ඒ සඳහා යොදා ගෙන ඇත්තේ වතුවල වගා කර තිබූ පැරණි වගාවන් නැවත වගා කිරීම සඳහා තෝරාගත් කෘෂිකාර්මික ඉඩම් නිසා ය. නමුත් මෙම වගාවට විරුද්ධ වන්නන් දැන දැන ම එම කරුණු වසන් කොට ජනතාවට වැරදි ප්‍රතිරූපයක් මවා පායි. මුළු මහත් දිවයිනේ ම වතු සමාගම් වලට අයත් භූමි ප්‍රමාණයෙන් ඔයිල් පාම් වගා කොට ඇත්තේ 1.2% ක් තරම් වූ ප්‍රමාණයක්. එනම් හෙක්ටයාර 9500 කි.

ඔයිල් පාම් ගසද, රබර් ගස මෙන් ම වනාන්තරයෙන් හමු වූ ගසකි. එහි කාබන්ඩයොක්සයිඩි උරා ගැනීම සහ පරිසරයට ඔක්සිජන් මුදා හැරීම ඉතා ම හොදින් සිදු වේ. පරීක්ෂණ වාර්තා අනූව වැසි වනාන්තරයකට සමාන ය. මෙහි දෛනික ජල පරිභෝජනය ලීටර් 400 කට වැඩි බවත්, රබර් ගසක ජල පරිභෝජනය ලීටර් 60ක් බවත්, පොල් ගසක ජල පරිභෝජනය ලීටර් 80ක් බවත් ඔවුන් ඉදිරිපත් කර ඇති දත්ත පෙන්නුම් කරයි. කෙසේ වෙතත් හෙක්ටයාරයක රබර් ගස් 520ක් වවන මුත් ඔයිල් පාම් ගස් ඇත්තේ 140 ක් බව ඔවුන් නොපවසයි. සත්‍ය වශයෙන් ම ඔයිල් පාම් ගසෙහි දෛනික ජල අවශ්‍යතාවය ලීටර් 249 බවට ගණන් බලා ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය වසර 20ක වර්ෂාපතනයට අදාළ දත්ත පරීක්ෂා කිරීමේ දී එහි කිසිදු අඩුවක් සිදු වී නොමැති බව තහවුරු විය. යම් කිසි ප්‍රදේශයක ජල හිඟයක් ඇති වී තිබේනම් ඒ පිළිබඳව සවිස්තර අධ්‍යනයක් කළ යුතුවෙයි?

තවද සුලබ මාතෘකාවක් න්නේ ඔයිල් පාම් වගාව නිසා ජෛව විවිධත්වය විනාශ වීම යන්නයි. මෙම වගාවද රබර්, තේ මෙන් ම තනි වගාවක් (mono crop) වේ. එහිදී ජෛව විවිධත්වයට බලපෑමක් ඇති වීම ස්වභාවික ය. මෙය වී, මඤ්ඤෙක්කා හෝ බඩ ඉරිඟු වැනි වගාවන්ටද පොදු ය. ඊට පිළියමක් ලෙස ඔයිල් පාම් වවන මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල RSPO (Round table on Sustainable Palm Oil ) ර්‍ණ තිරසාර පාම් ඔයිල් සඳහා වට මේසය ” නම් තත්ව සහතිකය ලබා ගත යුතු ය. එමඟින් තිරසාර වගාවකට මඟ පෑදේ.

අධික පොහොර භාවිතය සම්බන්ධ චෝදනාව ඔඔයිල් පාම් වලට කලක සිට එල්ල කරනු ලැබේ. පොල් වල මෙන් සිව් ගුණයක ඵලදාවක් ලබා දෙන වගාවකට නිතැතින් ම, වැඩි පොහොර භාවිතයක් අවශ්‍යය වේ. පොල් වල වාඩා වඩි ඵලදාවක් ලබා දෙන දෙමුහුන් වර්ග සඳහා වැඩි පොහොර ප්‍රමාණයක් භාවිතා කළ යුතු බව පොල් පර්යේෂණායතනයෙන් ලබා දෙන ආන්ත්‍රික පොහොර නිර්දේශ අනූව පැහැදිලි වේ.

ඔයිල් පාම් වගාව නිසා පාංශු ඛාදනය උග්‍ර ලෙස සිදු වන බව මෙය වෙත එල්ල කර ඇති තවත් චෝදනාවකි. ඔයිල් පාම් වගාව සඳහා තෝරා ගන්නේ බෑවුම අඩු ක්ෂේත්‍රයන් ය. ඊට හේතුව වන්නේ වලු කැපෙන අවස්ථාවේදී පහසුවෙන් කපා ප්‍රවාහනය කිරීමට ඇති දුෂ්කරතා අවම කරගැනීමයි.

ඔයිල් පාම් වගාවේ මෑත ඉතිහාසය ඇරඹෙන්නේ 14-01-2016 දරණ ලිපියක් මඟින්, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ඔයිල් පාම් බීජ ආනයනය කිරීමට අවසර දෙන බවත්, හෙක්ටයාර 20,000 ක් වගා කිරීමට අවසර ඇති බවත්, වැවිලි සමාගම් වෙත දැන්වීමෙන් අනතුරුවයි. ඒ සඳහා යොදා ගත යුතු බිම් මොනවාද යන්නත්, වැවිලි සමාගම් සතු බිම් ප්‍රමාණයෙන් 20% කට නොවැඩි බිම් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් යොදා ගත යුතු බවත් එමඟින් උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකාවේ පර්භෝජනය සඳහා ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ පොල් තෙල් ය. පොල් සංවර්ධන මණ්ඩලයේ 2018 දත්ත අනූව රට තුළ එම වසරේ නිෂ්පාදනය කර ඇති පොල් තෙල් ප්‍රමාණය මෙට්ට්‍රික්ටොන් මිලියන23,290 ක් වන අතර එය 2017 වසරට සාපේක්ෂව 13.8% ක අඩුවීමක් පෙන්නුම් කරයි. තවද 2018 වසරේදී ශ්‍රී ලංකාවට ඛාද්‍ය තෙල් මෙට්ට්‍රික්ටොන් 251,303 ක් ආනයනය කර ඇති සඳහා රුපියල් මිලියන 30,707.72 ක් වැය කර ඇත. 2018 දී ආනයනය කරන ලද තෙල් ප්‍රමාණය, 2017 වසරට වඩා 9.4% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එසේ ම 2018 වසරේදී ආනයනය කරන ලද මුළු තෙල් ප්‍රමාණයෙන් 87.5% පාම් ඔයිල් නිෂ්පාදනය වීම විශේෂත්වයකි.

පසුගිය පෙබරවාරි මස 28 දින ඔයිල් පාම් සම්බන්ධ කෘෂි කර්මාන්ත සහ පරිසරය සම්බන්ධව අන්තර්ජාතික වැඩමුළුවක් රුහුණු සරසවියේ කෘෂි විද්‍යා පීඨය මඟින් පවත්වන්නට යෙදුන අතර එහි දේශකයෙකු ලෙස සහභාගී වූ ඉන්දීය ජාතික මහාචාර්යවරයෙකු වන ඉන්දීය ඔයිල් පාම් පිළිබඳව පර්යේෂණ මධ්‍යස්ථානයේ, හිටපු අධ්‍යක්ෂක පී. රෙතිනම් මහතා ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කළ නිර්දේශ පිළිබඳ විමතිය පළ කර අතර ශ්‍රී ලංකා රජය මෙතරම් වටිනා වගාවක් සම්බන්ධව නිද්‍රාශීලී සහ සතුරු ආකල්පයක් දැරීම පිළිබඳව ප්‍රශ්න කරන ලදී.

මෙහිදී හෙළි වූ තවත් කරුණක් වන්නේ, මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවෙන් පසු රුපියල් මිලියන 300 තට අධික වියදමක් දරා ගෙන් වූ සිටුවීමට සූදානම් කර තිබූ ඔයිල් පාම් පැළ 540,000 ක් තවාන් වල නිරපරාදේ නාස්ති වී යන බවයි. තවත් මාස කිහිපයක් ඉක්මගිය හොත් එම පැල සම්පූර්ණයෙන් ම විනාශ වී යනු ඇතයිද මෙහිදී අනාවරණය විය.

 

ගීත් කුමාර

ඔයිල් පාම් පිළිබඳ

පර්යේෂණ වාර්තා ඇසුරිනි

( සංවාදයට විවෘතයි)

නව අදහස දක්වන්න