ගීත අනු­ක­ර­ණය කර­න­වට විරු­ද්ධයි | දිනමිණ

ගීත අනු­ක­ර­ණය කර­න­වට විරු­ද්ධයි

Viraj Perera

 

මෑත කාලයේ දී ගායන ක්ෂේත්‍රයට එක් වූ ප්‍රතිභාසම්පන්න ගායකයකු වන විරාජ් පෙරේරා, හිමින් සැරේ, සිද්ධාර්ථ ගෞතම්, තථාගතයානනේ, සාරිතා වැනි ගීත ගයමින්, ඉතා කෙටි කලක් තුළ ජනප්‍රිියත්වයට පත් විය. ඉනික්බිතිව, මවුබිමෙන් එහාට තම දක්ෂතා රැගෙන යන ඔහු, ඉන්දියාවේ ප්‍රාන්තවල දක්ෂත ම ගායකන් සාහභාගි කරවාගෙන පවත්වන අයිඩල් රියැලිටි තරගයේ තරගකරුවකු ලෙස තේරී ඇත.

 

ඔබ පහුගිය කාලයේ ඉන්දියාවට ගොස් සිටියා. එහෙම ගියේ විශේෂිත වූ කාරණාවක් නිසාද?

පහුගිය කාලයේ ශ්‍රී ලංකාවේ දේවස්ථානවල බෝම්බ පුපුරා යෑමත් එක්ක අපේ ගායක ගායිකාවන්ට, සංගීත කණ්ඩායම්වලට වැඩ නැතිවුණා විතරක් නෙමෙයි, අන්තර්ජාලය අවහිර කිරීම නිසා අපට අපේ නිර්මාණ එළි දක්වන්න පවා අවස්ථාව නැති වුණා. ඒ නිසා මගේ අලූත් ගීත එළි දක්වගන්න බැරිව මට බොහෝ පාඩු වුණා. දිගටම මේ තත්ත්වය පැවතුණොත් කියලා හිතලා තමයි මම ඉන්දියාවට ගියේ. ඉන්දියාවේ සංගීතයට තියෙන වෙළෙඳ පොළ විශාලයි. ඒ රටේ ගායකයෙක් විධිහට ස්ථාපිත වෙන්න ලැබුණොත්, ඒ හරහා මට අපේ රට වෙනුවෙන් යමක් කරන්න හැකිවෙයි කියන අරමුණ ඇතිවයි මම ඉන්දියාවට ගියේ.

මේ ගමනින් ඔබෙ අරමුණු ඉටු වුණාද?

ඔව්. ශ්‍රී ලංකාවේ කලාවට සහජ දක්ෂතා ඇති දරුවන්ට පාසලක් හදන එක, කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු අරමුණක්. මෙවැනි පාසලක් හදන්න ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 100 - 150 ක් අතර මුදලක් වැය වෙනවා. මෙවැනි පසුබිමක මට ශ්‍රී ලංකාවේ වැඩ කරලා, ඒ අරමුණට ළං වෙන්න බැරිවෙයි කියලා හිතුණ නිසයි මම ඉනිදියාවට ගියේ.

ඉන්දියාවෙන් ඔබට සම්මානයක් ලැබුණා නේද?

පහුගිය කාලෙ ශ්‍රී ලංකාවේ බොහෝ අය මම හින්දි ගීත අනුකරණය කරනවා කියන කතාව කියලා තිබුණා. මගේ ගායන ශෛලියේ හින්දි ආරක් තියෙන බව මම පිළිගන්නවා. ඒත් මම හින්දි ගීත අනුකරණය කළේ නැහැ. මේ අතර මම පහුගිය කාලයෙ මගේම හින්දි ගීත කිහිපයක් නිර්මාණය කළා. එම ගීත ඉන්දියාවේ වෙළෙඳ පොළට එළි දක්වන්න මගේ අදහසක් තිබුණා. ඉන්දියාවට ගිහින් ඔය වැඩ කරගෙන ඉන්න අතරෙයි, ඔවුන් ඉන්දියාවේ දක්ෂතම ගායකයන් සහභාගි කරවාගෙන පවත්වන අයිඩල් තරගයට එන්න කියලා, ඉන්දියන් අයිඩල් ඇකඩමියෙන් ඇරියුම් කළේ. ඒ තෝරා ගැනීම නිසා මට එම ඇකඩමියෙන් සම්මානයක් ලබා දුන්නා. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් මේ තරගයට තේරී පත්ව තිබෙන එක ම ශ්‍රී ලාංකිකයා මම බවයි ඔවුන් පැවසුවේ. ශ්‍රී ලංකාවෙ රියැලිටි තරගයකට හැමෝටම අයදුම්පත් දාන්න අවස්ථාව ලැබෙනවා. ඒත්, මේ තරගයට තරගකරුවන් තෝරන ආකාරය ඊට වඩා වෙනස්. ඔවුන් තරගයට ඇරියුම් කරන්නෙ දක්ෂම අයටයි. මේ තරගයෙන් ජයග්‍රහණය කරන තරගකරුවන්, ලෝකයේ ම පවත්වන අයිඩල් තරගයට ඉදිරිපත් කරනවා.

බොහොම තරුණ වියේදීම ඔබට, ජනතා සම්මානයට ළං වෙන්න හැකි වුණා නේද?

ඔව්. ඒක මට සුවිශේෂයි. මෙතෙක් තරුණ පරපුරේ ගායකයන්ගෙන් එම සම්මානය හිමිවෙලා තියෙන්නෙ ජූඩ් රෝෂන්ට සහ චාමර විරසිංහටයි. මගේ සාරිතා ගීතයයි එම තරගයට ඉදිරිපත් වුණේ. එම ගීතයට තරග කළේ, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ගායනවේදිනිය වන නන්දා මාලිනියන්ගෙ ‘අම්මාවරුනේ‘ ගීතය සමඟයි. අපට එවන් ගීතයක් එක්ක තරග කරන්න බැහැ. මේ ආකාරයට ඒ සමීපයටවත් යන්න ලැබීම ගැන සතුටුයි.

නවකයන් පෙම් ගීවලින් ක්ෂේත්‍රයට පිවිසෙන කාලයක, ඔබ බැති ගීවලින් ගායන දිවිය ආරම්භ කරන්නේම කිසියම් වෙනස්කමක් විධිහටද?

පුද්ගලිකව මම වැඩියෙන් ප්‍රිය කළේ, ප්‍රේම ගීතවලට වඩා බෞද්ධ ගීතවලට. ඒ නිසයි මම තථාගතයානෙනි, සිද්ධාර්ථ ගෞතම් වැනි ගීත නිර්මාණ කරන්න පෙලඹුණේ. අපේ රටේ රසිකයන් අතර ඒ ගීත අතිශයින්ම ජනප්‍රිය වුණා. ඒකත් එක්ක සමහරු බෞද්ධ ගීත විකුණන්න හැදුවා. ඒ වෙලාවෙ, “මේ ගීත කළේ විකුණන්න නෙවෙයි, පන්සල්වලට දෙන්න. ඔයාලත් ඔය හදන බැති ගීත පන්සල්වලට දෙන්න“ කියලා මම කිව්වා.

ඔබගේ ගායන දිවියට ශක්තියක් වූණේ කවුද?

මම පුංචි කාලෙ ඉඳන් ම ගීත ගායනා කරලා තියෙනවා. මට සරස්වතී යෝගයක් තියෙනවා කියලා අපේ අම්මා කියනවා. මම ඒ කාලෙ සරස්වතී යෝගයක් කියන්නෙ මොකක්ද? කියලා දැනගෙන හිටියෙ නැහැ. සරස්වතී යෝගයක් පිහිටන්නෙ පහුගිය ආත්මවල කලාවට බොහෝ සේ සේවය කරපු අයට කියලා, පස්සෙ කාලෙකයි මම දැන ගත්තෙ. මම ඒක විශ්වාස කරනවා. මට මේ ගමනෙදි ලැබුණ හැම ජයග්‍රහණයකටම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබුණා. ඉන්දියාවට යද්දි, මේ තරම් ඉක්මනට මේ වගේ තැනක් ලැබෙයි කියලා මම හිතුවෙවත් නැහැ. ඉන්දියාවේ තැනක් ලබා ගන්න අඩු ම තරමින් අවුරුදු දෙකක්වත් යයි කියලයි මම හිතුවෙ. ඒත් මම ඉන්දියාවට ගිහින් දවස් දෙක තුනක් යද්දි, මේ සියලු දේ ලැබෙන්න ගත්තා.

ඔබ, ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යන කලා පාසලේ නවතම තොරතුරු මොනවද?

මූලික වැඩ ආරම්භ කරලා තියෙන්නෙ. මේ මස 29 වැනිදා අපි එම්. පී. එන්ටර්ටේට්මන්ට් කියලා වෙබ් අඩවියක් ආරම්භ කරනවා. ඒ වගේම, ඕපන් මයික් වැඩසටහන ආරම්භ වෙනවා. මේ සඳහා මට ඉඩමක් ලබා දෙන්න කියලා මේ වනවිට මම රජයට දැනුම් දීලා තියෙනවා. මම වසරක් පුරා ලංකාව පුරාම විසිරී සිටින සහජ කලා හැකියා තියෙන අය තෝරලා, ඒ වෙනුවෙනුයි ‘ඕපන් මයික්‘ වැඩසටහන සංවිධානය කළේ. ඉන්දියාවේ රැඩාබා කියන ආයතනය මගින් මේ තරගය විනිශ්චය කරලා, දක්ෂතා ඇති අය තෝරන්නෙ. මටත් පුංචි කාලෙ දක්ෂතා තිබුණත්, කලාව ඉගෙන ගන්න සල්ලි තිබුණෙ නැහැ. මේ පාසලෙන්, මම වගේ කලාව ඉගෙන ගන්න සල්ලි නැති, දක්ෂතා ඇති අයට සේවයක් වෙයි කියලා හිතනවා.

ඔබගේ සහජ දක්ෂතාවලට වේදිකාව වුණේ පාසලද?

මගේ ගම ගම්පොළ. ගම්පොළ ඉඳන් මම මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළු වුණා. පාසල් කාලෙ මම නේවාසිකාගාරයෙ හිටියෙ. මා, සංගීතයට යොමු කරවන්න කෙනෙක් මගේ කුඩා වියේදි හිටියෙ නැහැ. පාසලේදි ගුරුවරු, විවිධ අවස්ථාවල මා ගීත ගයන්න යොමු කළා. පාසලෙන් පිටවුණාට පස්සෙ, මට රැකියාවක් කරන්න කිසි ම කැමැත්තක් තිබුණේ නැහැ. මගේ ඇඟේ තිබුණෙ සංගීතය විතරයි. මුදල් ප්‍රශ්න නිසා මට සංගීතය ඉගෙන ගන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මම උත්සාහ කළේ ගීතයක් හදලා, ඒක ජනප්‍රිය කරගන්නයි. මම ගෙදර ඉඳන් සංගීතය අධ්‍යක්ෂණය කරන්න පුහුණු වුණා. අන්තිමට තනියම ඉගෙනගෙන, මගේ ගීත මම ම නිර්මාණය කළා. ඒකට හේතුව, මට වෙන අයට මුදල් ගෙවලා ගීතයක් නිර්මාණය කර ගන්න සල්ලි තිබුණෙ නැති නිසයි.

මෙතරම් දක්ෂතා තියාගෙන ඔබ, රියැලිටි තරග හරහා ක්ෂේත්‍රයට එන්න උත්සාහ කළේ නැත්තෙ ඇයි?

එහෙම තරගවලට ගියත්, මට ඒවයින් තැනක් ලැබුණෙ නැහැ. තරගවල එස්. එම්. එස්වලින් කෙරුණෙ තනිකර බොරුවක්. සල්ලි වියදම් කරලා, එස්. එම්. එස්. ගහන්න මට සල්ලි තිබුණෙ නැහැ. ඒ නිසා එම තරගවල එස්. එම්. එස්. පළමු වැනි වටයෙන්ම මා ඉවත් වුණා.

අනාගතයේදි ඔබ ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට අයිති ගායකයෙන් වෙයිද?

මම ශ්‍රී ලංකාවේ පාසල හදන ගමන්, ඉන්දියාවේ ගායකයෙක් වෙන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු දහයක් විතර දැනට වැඩ කරලා තියෙනවා. මේ රටේ විතරක් වැඩ කරලා, මට මගේ අරමුණට ළඟාවෙන්න බැහැ. ඒ නිසයි මම ඉන්දියාවේ වෙළෙඳ පොළ හොයගෙන යන්නෙ. අනෙක් කාරණය, මේ ගෙවෙන්නේ, අපට අම්මයි, තාත්තයි හැර කිසිම කෙනෙක් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. මට මේ සමාජයෙන් බොහෝ වංචා සිදුවෙලා තියෙනවා. එහෙම නැතිනම් අපට මේ වෙද්දි කෝටිපතියො වෙන්න තිබුණා. මේ, අපේ කලා හැකියාවලට වංචා කරන කාලයක් .

ඔබට, අනුකරණවාදී පිරිස ගැන මොනවද කියන්න තියෙන්නෙ?

මා අනුකරණය කරන පුද්ගලයන් බොහෝ දෙනෙක් ඉන්නවා. මට ඒ ගැන සතුටුයි. තව පැත්තකින් ඒ ගැන දුකක් තියෙනවා. ඒ විධිහට කෙනෙක් තවත් කෙනෙක් අනුකරණය කරනවා කියන්නෙ, තමන්ට තමන් විධිහට ගමනක් යන්න බැරි වෙනවා කියන එකනෙ. මගේ ගීත වැඩිදෙනා කියනවට මම කැමැතියි. මම ඒවා අහගෙන ඉන්නත් කැමැතියි. හැබැයි මා අනුකරණය කරන අයට මම කියන්නෙ, “තමන්ගෙ ශෛලිය හඳුනාගෙන නිර්මාණ කරන්න. එවිට කාටවත් නවත්වන්න බැරි ගමනක් තමන්ට තියෙයි“ කියලයි.

ධම­මිකා සුරංජි පති­රණ

නව අදහස දක්වන්න