මේ සිය­ව­සේ ලෝක ජන­ග­හ­නය | දිනමිණ

මේ සිය­ව­සේ ලෝක ජන­ග­හ­නය

 

ලෝක ජනගහන දිනය යෙදෙන්නේ සෑම වසරකම ජූලි මස 11 වැනිදා දිනයටයි. ලෝක ජනගහන දිනයක් ප්‍රකාශයට පත් කිරීමට පළමුවෙන්ම මුල් වූයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලක කවුන්සිලයයි. එකී දිනය පළමුවෙන්ම ප්‍රකාශයට පත් කෙරුණේ 1989 වසරේදී ය. 1987 වසරේ ජූලි 11 වැනි දිනට ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන 5ක් වීම හේතුවෙන්, ලෝක ජනගහන දිනය ජූලි 11වැනිදාට යොදා ගැනීම මැනවැයි ඉන් වසර දෙකකට පසුව පළමුව කී බලධාරීහු තීරණය කළහ.

 

ලෝක ජනගහන වර්ධන වේගයේ ප්‍රවණතා

පසුගිය අප්‍රේල් මාසය වනවිට ලෝක ජනගහනය බිලියන 7.7 ඉක්මවා ගිය බව විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ. ජනගහන වර්ධන වේගය පිළිබඳ ගැඹුරින් හදාරන කෙනකුට මේ ප්‍රකාශය ඉතා වැදගත් ප්‍රකාශයකි. ලෝක ජනගහනය බිලියනයක් දක්වා වැඩිවන්නට, මානව ඉතිහාසයේ වසර ලක්ෂ දෙකක කාලයක් ගත වී ඇති බව පැහැදිලි ය. එහෙත් වසර 200ක් වැනි කෙටි කාලයක් තුළදී ලෝක ජනගහනය බිලියන 7ක් දක්වා වැඩි වී ඇත. ලෝක ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අන්දම පිරික්සා බලන්නට එය හොඳ ම නිමිත්තකි.

මානව ඉතිහාසයේ සිදු වූ ඉතා වැදගත් සිද්ධි කිහිපයක්ම, ජනගහන වර්ෂණය ශීඝ්‍රයෙන් ඉහළ යෑමට බලපෑවේ ය. 1700දී පමණ ඇති වූ කාර්මික විප්ලවය ඒ අතර කැපී පෙනෙයි. පසුගිය අඩ සියවසක කාලය තුළදී විද්‍යා හා තාක්ෂණික අංශයන් ලැබූ දියුණුව ද අතිමහත් ය. විශේෂයෙන්ම වෛද්‍යය විද්‍යාව සහ කෘෂිකර්මාන්තය ලැබූ දියුණුව අන් කිසිවකට දෙවැනි නැත. එකී තත්ත්වයන් ද ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමට තදින්ම බලපෑවේ ය. දැනට පවත්නා ජනගහන වර්ධන වේගය සැලකිල්ලට ගන්නා විද්‍යාඥයන් පවසන්නේ, 2055 වනවිට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවා යනු ඇති බවකි.

ලෝක ජනගහනය නිසා පෘථිවියට දරන්නට සිදුව තිබෙන බර ප්‍රමාණය කොපමණක්දැයි සොයා බලන්නට, 2012 වසරේදී ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් පිරිසකට හැකි විය. ඔවුන් පවසන අන්දමට, එවක ජනගහනය අනුව ටොන් මිලියන 287ක පමණ බරක් පෘථිවිය මත පැට වී ඇත. මේ පර්යේෂකයන් එක් පුද්ගලයකුගේ බර කිලෝග්‍රෑම් 62ක් ලෙස යොදාගෙන, අදාළ ගණනය කිරීම්කර තිබේ.

ජන ව්‍යාප්තිය

වත්මන් ලෝක ජනගහනයෙන් වැඩි ම පිරිසක් හෙවත් මිලියන 4436කට ආසන්න පිරිසක් ජීවත් වන්නේ ආසියාවේ ය. අප්‍රිකාවේ ජීවත් වන පිරිස මිලියන 1216ක් පමණ වේ. යුරෝපයේ මිලියන 738කට ආසන්න පිරිසක් ජීවත් වෙති. උතුරු අමෙරිකාවේ වෙසෙන සංඛ්‍යාව මිලියන 579ක් පමණ වේ. දකුණු අමෙරිකාවේ එම අගය මිලියන 422කට ආසන්න ය. ඕෂනියා හි මිලියන 39.9කුත්, ඇන්ටාර්ක්ටිකා හි ඉතා සුළු පිරිසකුත් වෙසෙන බව සඳහන් වේ.

ලොව වැඩි ම ජන සංඛ්‍යාවක් සිටින්නේ චීනයේ ය. එරට ජනගහනය ලෝක ජනගහනයෙන් 18.1%ක් පමණ වේ. ජනගහනය වැඩි රටවල් අතර ලොව දෙවැනි තැන සිටින්නේ ඉන්දියාවයි. ලෝක ජනගහනයෙන් 17.5%ක් ඉන්දියාවේ වෙසෙති. ලෝක ජනගහනය වැඩි ම සෙසු රටවල් අතර, අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, පාකිස්තානය, බ්‍රසීලය, නයිජීරියාව, බංගලිදේශය, රුසියාව සහ ජපානය යන රටවල් පිළිවෙලින් ඇත. බ්‍රිතාන්‍යයට යටත් පීට්කේර්න් දූපත් ලොව ජනගහනය අඩු ම ස්ථානය හැටියට සැලකේ. එහි ජනගහනය පුද්ගලයන් පනස්දෙනකු බව වාර්තාවල දැක් වේ. එම ජනගහනය ලෝක ජනගහනයෙන් ප්‍රතිශතයක් හැටියට දැක්වුවහොත්, 0.00000065%ක් පමණකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට, පුද්ගලයකු සාමාන්‍යයෙන් භුක්ති විඳින උපරිම ආයු කාලය වසර 71.4 දක්වා මේ වනවිට වැඩි වී ඇත. කාන්තාවක අවුරුදු 74ක උපරිම ආයුෂකුත්, පිරිමියකු අවුරුදු 69ක උපරිම ආයුෂකුත් භුක්ති විඳින බව, එකී සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙයි. ලෝක ජනගහනයේ ආයු අපේක්ෂාව මේ අන්දමට වැඩි වී තිබෙන්නේ, වෛද්‍ය සහ විද්‍යා අංශ ලැබූ දියුණුව නිසා ය. කෙසේ වුවත්, මේ ආයු ප්‍රමාණය ලොව සෑම රටකම වෙසෙන ජනතාව එකාකාරවම භුක්ති විඳින්නේ යැයි සිතීම නිවැරැදි නැත. ස්වාසිලන්තය ජාතිකයකුගේ උපරිම ආයු කාලය වසර 30 - 40ත් අතර වේ. එසේ වුවත්, ජපන් ජාතිකයෙක් සාමාන්‍යයෙන් වසර 82.6ක ආයු කාලයක් භුක්ති විඳී.

ලෝක ජනගහනය වයස අනුව

ලෝක ජනගහනය වයස අනුව කාණ්ඩ කළහොත්, වැඩි ම පිරිසක් අයත් වන්නේ වයස අවුරුදු 15ත් 64ත් අතර වයස් කාණ්ඩයටයි. ඊට අයත් පිරිස ලෝක ජනගහනයෙන් 65.9%ක් පමණ වේ. වයස අවුරුදු 15ට අඩු පිරිස 26.3%ක් බැව් අනාවරණය වී ඇත. ලෝක ජනගහනයෙන් 7.9%ක් පමණ පිරිසක් වයස අවුරුදු 65ට වැඩි අයවලුන් බව පැවසේ. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, වයස අවුරුදු 14ට අඩු වයස් කාණ්ඩයට අයත් පිරිස 1950 සිට 2010 දක්වා කාලය තුළදී 34% සිට 27% දක්වා පහළ වැටී ඇත. එම කාල පරාසය තුළදී වයස් අවුරුදු 60 වැඩි පිරිස 8% සිට 11% දක්වා වැඩි වී ඇති බව ද අනාවරණය වී තිබේ.

 

බරපතළම සෞඛ්‍ය ගැටලු

මේ වනවිට මුළු මහත් ලෝකයම විවිධාකාර සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව සත්‍යයකි. ඒ අතර බරපතළ ම සෞඛ්‍ය ගැටලුව වන්නේ, එච්.අයි.වී / ඒඩ්ස්වලට ගොදුරු වන සංඛ්‍යාව ඉහළ යෑමයි. විද්‍යාව සහ තාක්ෂණය කොතරම් දියුණු වුවත්, එච්.අයි.වී / ඒඩ්ස්වලට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගැනීමට මිනිසා තවමත් අපොහොසත් වී සිටී. වාර්තාවල දැක්වෙන අන්දමට, 2016 වනවිට එච්.අයි.වී / ඒඩ්ස් ආසදිතයෝ මිලියන 36.7ක් ලොව ජීවත් වූහ. සෑම වසරක් පාසාම මිලියන 1.8කට ආසන්න පිරිසක් එච්.අයි.වී / ඒඩ්ස් ආසාදිතයන් සංඛ්‍යාවට අලුතින් එකතු වේ. එච්.අයි.වී / ඒඩ්ස් නිසා වසරක් තුළ ජීවිතක්ෂයට පත් වන සංඛ්‍යාව ද මිලියනයකට අධික ය.

එක්තරා අවස්ථාවකදී ලෝක ජනගහනය උපරිම මට්ටමකට ළඟා වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. එකී අවස්ථාව වනවිට භූමිය සහ සෙසු සම්පත් හිඟ වීම, පාරිසරික උවදුරු මතුවීම, සෞඛ්‍ය ගැටලු පැන නැඟීම, ආර්ථික අර්බුද ඉස්මතු වීම වැනි තත්ත්ව පෙර නොවූ විරූ තරමට මිනිසාට දැනෙන්නට පටන් ගනු ඇත. එවිට ලෝක ජනගහනය අනුක්‍රමයෙන් පහළ වැටෙන්නට ඉඩ ඇති බව අනුමාන කෙරේ. ලෝක ජනගහනය එලෙස පහළ වැටීම, මේ සියවසේ අග භාගය වනවිට ආරම්භ වීමට 85%ක පමණ ඉඩක් ඇති බව විද්‍යාඥයන්ගේ අදහස ය.

 

අන්තර්ජාලය ඇසුරිනි

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න