‘කිරෙන් සපිරි රටක්’ ‘පෝෂ්‍යදායී මතු පරපුරක්’ | දිනමිණ

‘කිරෙන් සපිරි රටක්’ ‘පෝෂ්‍යදායී මතු පරපුරක්’

‘‘අපට නිසි ලෙස උපත ලද, නිසි ලෙස පුහුණුව ලද, නිසි ලෙස අධ්‍යාපනය ලද, නිසි ශාරීරික සෞඛ්‍යයකින් හෙබි එක් පරම්පරාවක් ඇති කරගත හැකි නම්, රජය විසින් මුහුණ පා ඇති ගැටලු දහස් සංඛ්‍යාවක් නැති වී යයි. ” යනුවෙන් ඇමෙරිකාවේ 31 වැනි ජනාධිපති හර්බට් හුවර් එක් වරක් ප්‍රකාශ කර සිටියේය.

ඕනෑම රටක අනාගත පරපුරේ සෞඛ්‍යසම්පන්න බව අදාළ රටට වැදගත් සාධකයකි. ඒ අනුව ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට එකී සාධකය අතිශයින්ම වැදගත් කරුණක් ලෙස නම් කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ පෝෂ්‍යදායී ජීවන තත්ත්වයන් යහපත් තත්ත්වයක පවතින බවට ඇතැම් සෞඛ්‍ය දර්ශක පෙන්නුම් කර තිබුණ ද මන්දපෝෂණය යනු ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරාවට පැවත එන ගැටලුවකි.

තවද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇති ආකාරයට මෙරට පාසල් දරුවන්ගේ පෝෂ්‍යදායී මට්ටම් යහපත් තත්ත්වයක නොමැති අතර එ් හේතුවෙන් විවිධ ලෙඩ රෝගවලට එම දරුවන් මුහුණ පා ඇත. මේ සඳහා බල පා ඇති අනෙකුත් කරුණ වන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට හැකි නොවීමත්, දරුවන්ට නිසි ආහාර වේලක් ලබා දීමට මවුපියන්ට නොහැකි බවත් ය. මෙම තත්ත්වය මඟහරවා ගෙන යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි මතු පරපුරක් ගොඩනඟා ගැනීම උදෙසා මෙරට දරු පරපුර වෙත විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.

මෙම ගැටලුව හමුවේ ශ්‍රී ලංකා රජය ‘කිරෙන් සපිරි රටක්’ යන තේමාව යටතේ ‘පෝෂ්‍යදායී මතු පරපුරක්’ ගොඩනැඟීම උදෙසා ජාතික වැඩසටහන් ආරම්භ කිරීමට නියමිත අතර එම වැඩසටහන් ‘ග්‍රාමශක්ති’ ජනතා ව්‍යාපාරය මඟින් සවිබල ගැන්වේ.

මෙම ව්‍යාපෘතිය මඟින් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පාසල්වල ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ට දෛනිකව දියර කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දියත් කර ඇති “ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය” මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.

මෙමඟින් පාසල් සිසුවකුට ලබා දෙන කිරි වීදුරුවක් සඳහා රුපියල් 21ක මුදලක් වැය වන අතර තෝරාගත් පාසල් රැසක සිසුන් මිලියන 1.7ක ප්‍රමාණයකට කිරි සැපයීමට තීරණය කර ඇත. ඒ සඳහා රුපියල් බිලියන 6.7ක මුදල් වාර්ෂිකව වැය කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.

වැඩසටහනේ ප්‍රධානම අරමුණ වන්නේ රටේ දරු පරපුරේ පෝෂණ මට්ටම් ඉහළ නැංවීම වන අතර අනාගතයේ ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල සිසු සිසුවියන්ට මෙලෙස කිරී ලබාදීමට යෝජනා වී ඇත.

කිරි නිෂ්පාදනය කිරීමේ ප්‍රධානම රටක් වන ඉන්දියාව දියර කිරිවලින් ස්වයංපෝෂිත අතර ශ්‍රී ලංකාව තවමත් කිරිපිටිවලට නැඹුරු වී සිටීම පුදුමසහගත කරුණකි. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල්වලින් මෙලෙස කිරි ආනයනය කරන නමුත් එම රටවල් පරිභෝජනය කරනු ලබන්නේ දියර කිරිය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිරිපිටි පරිභෝජනයට එකහෙළා විරුද්ධ බව අවස්ථා කිහිපයකදීම අවධාරණය කළේ ය.

දරුවන් දියර කිරි පරිභෝජනය කිරීම ඉතා වැදගත් කරුණක් ලෙස හඳුනාගෙන ඇති ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු යෙදීමට අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම 2025 වසර වන විට ශ්‍රී ලංකාව දියර කිරි වලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම එතුමාගේ ප්‍රධාන අරමුණකි. තවද 2030 වසර වන විට කිරිපිටි පරිභෝජනය නවතා ශ්‍රී ලංකාවම දියර කිරි පරිභෝජනය කරන රටක් බවට පත් කිරීමට ද රජය බලාපොරොත්තු වේ.

 

ජී. එච්. එම්. අමරසිංහ

නව අදහස දක්වන්න