කුඩු ජාවාරමකට සැකපිට සුරාබදු විශ්‍රාමික සැරයන් මේජර් ඇතුළු 2ක් දැලේ | දිනමිණ

කුඩු ජාවාරමකට සැකපිට සුරාබදු විශ්‍රාමික සැරයන් මේජර් ඇතුළු 2ක් දැලේ

ගයාන් කුමාර වීරසිංහ

මත්කුඩු ජාවාරමකට සැකපිට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සැරයන් මේජර්වරයකු ඇතුළු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් පෙරේදා (7) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැරයන් මේජර්වරයා විශ්‍රාම ගෙන ඇත්තේ ඉකුත් ජනවාරියේ දීය. විශ්‍රාම ගැනීමට පෙර සිටම ඔහු මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සපුගස්කන්ද හෙයියන්තුඩුවේ ටයර් වෙළෙඳසලක් පවත්වාගෙන යන පුද්ගලයෙක් හෙරොයින් ග්රූම් 52ක් සමඟ මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමන්ට මත්කුඩු ලබාදෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් බවයි.

ඒ අනුව එම සැකකරු මගින් තවත් හෙරොයින් ග්රෑම් 50ක ඇනවුමක් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් එම සුරාබදු නිලධාරියාට ලබාදී තිබේ. සුරාබදු නිලධාරියා ඒ අනුව හෙරොයින් රැගෙන ටයර් වෙළෙඳසලට පැමිණි අවස්ථාවේ දී විශේෂ කාර්ය බළකා සෙබළුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ දෙදෙනා එක්ව දීර්ඝ කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇතැයි විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවින් වැඩි දුර විමර්ශන සඳහා ඔවුන් දෙදෙනාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, පොලිස් අධිකාරී ශාන්ත රත්නපිටිය, සහකාර පොලිස් අධිකාරී කේසර රත්නවීර යන මහත්වරුන්ගේ උපදෙසින් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම කර තිබේ.


නව අදහස දක්වන්න