නියඟය | දිනමිණ

නියඟය

දේශපාලන ප්‍රශ්න ඉස්මතු වන අතර ජනතාව ගේ ප්‍රශ්න යටයන බවක් පෙනෙන්නට තිබේ. බොහෝ දෙනෙක් ඊළඟ ජනාධිපතිවරණය ගැන විමසති. එකිනෙක පක්ෂ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි විමසති. එහෙත් රටේ විශාල පිරිසක නියඟයෙන් පීඩා විඳින්නේ වුව කිසිවකු මේ ගැන අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නැත. දිස්ත්‍රික්ක දාහතක් දැඩි නියඟයට ගොදුරුවී ඇත. පවුල් එක් ලක්ෂ ගණනකට හාර ලක්ෂ ගණනක සාමාජිකයෝ නියඟයෙන් දැඩි පීඩාවට පත්ව සිටිති. ඇතැම් ප්‍රදේශවල පානීය ජලය නැත. වගාව මුළුමනින්ම විනාශ වී ඇත. හදිසි ආපදා තත්ත්වයක්ද පවතින බව මෙයින් පෙනී යයි.

නියඟය නිසා මතුවන වෙනත් ගැටලු ගණනාවක් පවතී. විදුලිය නිෂ්පාදනය ඉන් ප්‍රධානය. විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන අන්දමට ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යන්නට පටන්ගෙන තිබේ. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල මෙන්ම මහවැලි ජලාශවලද ජල මට්ටම පහළ යමින් පවතී. වැව් දාහතර දහසක් සිඳීගොස් ඇති බවද වාර්තා වී ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට ප්‍රධාන වැව් ගණනාවක ජල මට්ටම 26% දක්වා පහළ වැටී ඇත. මේ තත්ත්වය මත යල කන්නයේ වගාව පසුබෑමට ලක්වනු ඇත. ඒ හැරෙන්නට වියළි කලාපයේ දෛනික ජල අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ජලය බෙදා හැරීමට සිදුවනු ඇත.

ජල හිඟය කෙතරම් උග්‍ර තත්ත්වයකට පත්ව තිබේද යත් නිතර ගංවතුර තර්ජනයට ලක්වන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පානීය ජල හිඟයක් මතුව ඇත. නිති නායයෑම්වලට ගොදුරුවන කෑගල්ල ප්‍රදේශ කිහිපයකටද පානීය ජල ගැටලුව මතුවී ඇත. මේ සිදුවීම්වලින් පෙනී යන්නේ නියඟය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට නියඟය තවදුරටත් පැවතී සිටින්නට පුළුවන. අදාළ ප්‍රදේශවලට වැසි වැටෙන ලකුණු දැකගත නොහැකිය. ප්‍රජාව‍ෙග් ජල අවශ්‍යතා සපිරීම එක ගැටලුවක්වන අතර වගාව සඳහා ජලය සැපයීම තවත් ගැටලුවක් බවට පත්වී ඇත.

නියඟයෙන් බරපතළ ලෙස පීඩාවට පත්වී ඇත්තේ උතුරු පළාතේ ජනතාව බව කියති. යාපනය ප්‍රදේශයට නියඟය පවතින්නේ දිගුකාලයක සිටය. වව්නියා දිස්ත්‍රික්කයද දැඩි නියඟයකට මුහුණ දී සිටී. උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න පිරිසක් පානීය ජල ගැටලුවෙන් පීඩා විඳිති. එම පළාත නියෝජනය කරන දේශපාලකයන් මේ ගැටලු ගැන සාකච්ඡා කරන බවක් පෙනෙන්නට නැත. වව්නියාවේ කුඹුරු විනාශ වී ඇත. වෙනත් වගාවන් දැවී ගොස් ඇත. අමතක නොකළ යුතු කාරණයක් වන්නේ උතුරු පළාතේ විශාල පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන බවය. පවතින තත්ත්වය යටතේ ඊළඟ වගාව ගැනද විශ්වාසයක් තැබිය නොහැකිය.

මොනරාගල වැනි දිස්ත්‍රික්කයක ජනතාවගේ සියලු දේ රැඳී ඇත්තේ ගොවිතැන මතය. මේ දිස්ත්‍රික්කය දිළිඳුකම සම්බන්ධ ගැටලුවේදී කැපීපෙනෙන කාරණයකි. බහුතරය දුප්පත්වන අතර පවුලේ සියලු කටයුතු ගොවිතැන මත තීන්දු වෙයි. මොනරාගල වී වගාව, මිරිස් වගාව, එළවළු වගාව මෙන්ම පලතුරු වගාව ද විනාශ වී ඇත. කුඹුරු දැවී ගොසිනි. මිරිස් වගාවේ ඵලදාවක් නැත. මේ අතර එළවළු වගාවට හා පලතුරු වගාවට රෝග බෝවී ඇත. නියඟ කාලවලදී එළවළු හා පලතුරු වගාවන්ට පැතිරෙන විශේෂ රෝග තිබේ. මේ තත්ත්වය මත ජීවත්වීම ප්‍රශ්නයක් බව ගොවීහු කියා සිටිති. වින්දිතයන් සඳහා වන්දි ලබාදීමට එහා ගිය සහන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

ගෙවී ගිය දශකයක පමණ කාලය නිරීක්ෂණය කරනවිට වියළි කලාපය සම්බන්ධයෙන් ප්‍රධාන සාධක දෙකක් හඳුනාගත හැකිය. පළමු සාධකය වන්නේ සෑම වර්ෂයකම දීර්ඝ නියං කාලයක් කඩාවදින බවය. දෙවන සාධකය වන්නේ වසරෙන් වසරට නියඟයේ තත්ත්වය දරුණුවන බවය. මෙයින් පැහැදිලි වන්නේ වියළි කලාපයේ ජල ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් අවශ්‍ය බවය. එක අතකින් වැව් ප්‍රතිසංස්කරණය කොට ජලධාරිතා ඉහළ නැංවිය යුතුය. තව අතකින් නව ජලයෝජනා ක්‍රම ඉදිකළ යුතුය. ඒ හැර වෙනත් විසඳුමක් නැත.

ශ්‍රී ලංකාවේ පැවැති වැසි චක්‍රය මුළුමනින්ම වෙනස් වී ඇත. ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබෙන අතර නියමිත කාලයේදී වර්ෂාව සක්‍රීය වන්නේද නැත. මේ අනුව වැසි ජලයෙන් ගොවිතැන් කිරීම අවදානම් සහගත තත්ත්වයකට වැටී ඇත. වියළි කලාපය පමණක් නොව තෙත් කලාපයට පවා ප්‍රමාණවත් වර්ෂාවක් ලැබෙන්නේ නැත. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ජල මූලාශ්‍ර සිඳී ගොසිනි. ප්‍රධාන වැව් පවා ඉතා ඉක්මනින් සිඳී යන තත්ත්වයක් පෙන්නුම් කරයි. මෙයට මූලික හේතුව පරිසර විනාශය බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නියං සමයේදී සමහරු කැලෑ ගිනි තබති. බදුල්ල, මාතලේ, නුවරඑළිය හා මොනරාගල දිස්ත්‍රික්කවල කැලෑ ගිනි තැබීම් වර්තාවී ඇත.

ජලය හා පිරිසිදු වාතය මේ සියවසේ වටිනාම සම්පත බව සඳහන් වී ඇත. වායු දූෂණය පිළිබඳ ගැටලුවට ලෝකයේ දියුණු රටවල් ගණනාවක්ම මුහුණ දී සිටිති. ඇතැම් නගරයක ජීවත්වීම සඳහා ඔක්සිජන් මිලට ගත යුතුය. වායු දූෂණය හා ජල හිඟය දේශපාලකයන් ගනු ලබන තීන්දු තීරණ මත වෙනස්කරගත හැකි බව අපගේ පිළිගැනීමයි. චෙන්නායි ප්‍රදේශයේ පැවැති උග්‍ර ජල ගැටලු හමුවේ ජනතාවගේ විවේචනයට හසුවූ‍ෙය් දේශපාලකයන්ය. අපේ නියඟයටද පිළිතුරක් දේශපාලනඥයන් ළඟ තිබිය යුතුය.

 


නව අදහස දක්වන්න