මංගල ඇමැතිතුමාගේ මා හඳුනන විශිෂ්ට ගුණය පුළුල් දැක්මකින් සිය ගමන ක්‍රියාවට නැංවීමයි | දිනමිණ

මංගල ඇමැතිතුමාගේ මා හඳුනන විශිෂ්ට ගුණය පුළුල් දැක්මකින් සිය ගමන ක්‍රියාවට නැංවීමයි

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

දේශියත්වයට මුල්තැන දෙමින් ජනතාවට ගැලපෙන සමස්ථ රටට සුදුසු ආර්ථිකයක් ඇතිකිරීමට කටයුතුකරන බවත් ලෝකයේ දියුණුතම ආර්ථික ක්‍රම ද ඊට මුසුකරමින් රටට අවශ්‍ය තාක්ෂණික විප්ලවයෙන් යුතු ආර්ථිකයක් ගෙඩනගන බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදිස මහතා පැවැසීය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමැතිවරයාගේ දේශපාලන දිවියේ තිස්වසරක ගමන් මග පිළිබඳ නිහාල් ජගත්චන්ද්‍ර විසින් රචිත “මංගල සමරවීර ’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

අද රටේ බොහෝ තැන්වල වැඩිවශයෙන් කතාබහට ලක්වන්නේ ජාතික ආරක්ෂාව පිළිබදවයි. සමහරු රටේ ජාතික ආරක්ෂාවට පටුතැනක් දෙන්න උත්සාහකරනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ, ආරක්ෂක අංශ කලාපයේ හා ලොකයේ තියෙන ශක්තිමත්ම අංශ බවට පත්කරන්නට අපිට ලබාදිය හැකි ප්‍රතිපාදනයන්, පහසුකම් අපි නිරතුරු ලබාදෙන්න සූදානම්. නමුත් ජාතික ආරක්ෂාව කියන කාරණය එතැනට පමණක් සීමා නොවිය යුතුයි. එහිදී ආරක්ෂක අංශ ශක්තිමත් කරනවා වගේම, පහසුකම් ලබාදෙනවා වගේම, රට ජාතිය රැකගත් රණවිරුවන්ගේ සුබසාධනයට උපරිම සහාය ලබාදෙනවා වගේම ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට නම් අංශ ගණනාවක් ශක්තිමත් කළ යුතුයි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට නම් ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ආර්ථිකය ශක්තිමත් නොවන තැනක ජාතික ආරක්ෂාව තහවුරුවෙනවද? කියා අහන්න කැමතියි.

මංගල ඇමතිතුමයි මමයි අතර කලකට පෙර විවිධ මතිමතාන්තර, මතගැටුම් තිබුණා. වාද විවාද ඇතිවුණා. එය මුළු ලංකාවම දන්නවා. නමුත් මම දන්නා මංගල සමරවීර ඇමතිතුමාගේ විශිෂ්ටතම ගුණාංගයක් තමයි පුළුල් දැක්මකින් එතුමාගේ ගමන ක්‍රියාත්මක කරන්නට හැකිවීම. එතුමාට ඊට ආත්ම ශක්තිය තිබෙනවා. මොන අභියෝග ආවත් තමන්ට හරි කියා හිතෙන මතයේ එතුමා ශක්තිමත්ව ඉන්නවා. මම එක නිදසුනක් කියන්න කැමතියි. එතුමා මුදල් ඇමතිවරයා වන විට මට හිතුනා මගේ ගම් උදා වැඩසටහන මොනවා වෙයිද? කියා. එක පැත්තකින් මමත් දැන් හිතනවා ඒවගේ හිතපු දෙයත් මම කරපු වරදක් කියා. එතුමා මුදල් අමාත්‍ය ධුරය ලබපු විගසම මාව ආමන්ත්‍රණය කර ඇත්ත වශයෙන්ම මට අදහන්නට බැරි ප්‍රකාශයක් කළා. ඒතමියි සජිත් ඔබ ඔබේ නිවාස වැඩපිළිවෙළ හොදින් කරගෙන යනවා. සංඛ්‍යා ලේඛන අනුව වෙන්කරපු මුදල් වලින් හැම වසරකදිම වගේ සියයට අනූනවයක්ම පොදුජනතාවගේ සුබසිද්ධියට වැඩකර තිබෙනවා. ඒ නිසා වෙන කවරදාටත් වැඩියෙ ඔබගේ නිවාස වැඩ සටහනට මම මුදල් වෙන් කරනවා කියා කිව්වා. මට පුදුම හිතුනා මම මංගල සමරවීර මැතිතුමාගෙන් හොද ඉගෙනුමකුත් ලැබූ බව කිව යුතුයි.

ඉන්දියාවේ හිටපු කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙකුවූ ජවහල්ලාල් නේරු මැතිතුමා කියනවා මට හැමෝම ගරු අග්‍රාමාත්‍ය කියා කියනවා. මම ජවහල්ලාල් නේරු මම කැමති නෑ ඒ තරම් මේ ගරු අග්‍රාමාත්‍ය කියන කොටසට. මම කැමතියි ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍ය නොවෙයි ඉන්දියවේ ජනතා සේවකයා කියා හදුන්වනවාට යනුවෙන්. එතුමාම කියනවා යුගයේ අවශ්‍යතාව ගරුනාමයන් ලබාගැනීම නොව, නම්බුනාම, තනතුරු ලබාගැනීම නොව ජනතාවගේ සේවකයා වීම බව. දිවංගත මාග් පියානන්ගේ නාමයෙන් මම දිවුරා පොරොන්දුවෙනවා යම්කිසි අවස්ථාවක් ලද විටක මේ රටේ පවුල් ලක්ෂ හැට එකක පුරුවැසියක් ලක්ෂ දෙසිය විස්සකගේ පූර්ණ කාලීන, විසිහතර පැයම තුන්සිය හැටපස් දවසෙම පොදුජන සේවකයා බවට පත්වන බව.

 

නව අදහස දක්වන්න