මගේ වෘත්තීය වැටුප මට ගෙවන්න | දිනමිණ

මගේ වෘත්තීය වැටුප මට ගෙවන්න

අනෝමා ජනාදරී

අනෝමා ජනාදරී මෙරට සිටින ප්‍රතිභාන්විත රංගවේදිනියකි. අශෝක හඳගමගේ "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටය සඳහා "සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළලේ හොඳ ම නිළිය ලෙස ඇගැයීමට පත්වන ඇය, සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහඟුන්" චිත්‍රපටය වෙනුවෙන් ලොස්ඇන්ජලීස් නුවර ලෝක ආසියානු සිනමා උළෙලෙහි හොඳ ම නිළිය ලෙස පිදුම් ලබන්නීය. මෙවර "දෙරණ" සිනමා උළෙල‍ හොඳ ම නිළිය වන අනෝමා ජනාදරී, සාර්ක් සිනමා උළලේදීද "දැවෙන විහඟුන්" චිත්‍රපටය වෙනුවෙන් හොඳ ම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර විය.

l "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ ඔබ කළ රංගනය සඳහා මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලෙහි හොඳම නිළිය බවට පත්වන්නේ ඔබයි. මේ සම්මානය ඔබට මොන තරම් උත්තේජනයක්ද?

මම ඇත්තම කිව්වොත් පිළිගනීද දන්නේ නැහැ. මට හරිම හුදකලා හැඟීමක් දැනෙනවා. මට උත්තේජනයක් ලැබෙන්න තිබුණේ ආසියානු ලෝක සිනමා උළෙලෙන් ලැබුණු ජාත්‍යන්තර සම්මානය මට හිමිවුණ අවස්ථාවේදීයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මට ලැබෙන්න තිබුණ, මට විඳින්න තිබුණ මානසික සතුටවත් ලබන්න බැරිවෙන විදියට කටයුතු කළා. මගේ සිනමා ජීවිතයේ ඒ මට ලැබුණ දෙවන ජාත්‍යන්තර සිනමා ඇගයීම.

හොඳ වැඩක් කරලා සිත කය අසීමිතව කැපකරලා ලංකාවේ දුක් විඳින ගැහැනුන් වෙනුවෙන් පෙනී ඉඳලා අන්තිමේදී මා කළකිරීමකට පත්වුණා. මා කළ කැපකිරීමෙන් මේ පොළවේ ජීවත්වන ගැහැනුන්ට සමාන අයිතිවාසිකම් පිළිබඳව සාධාරණයක් ඉටුවෙනවා නම් පමණයි මා උත්තේජනයක් ලබන්නේ.

මෙවර මට ලැ‍බුණ සම්මානයත් සමඟ මේ චිත්‍රපටයේ ප්‍රශ්න ගැන මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සිදුවූ දේ පිළිබඳව මා මුහුණුපොත තුළින් කතා කළා. ඒ නිසා නැවතත් ඒ පිළිබඳව මං කතා කරන්න කැමති නැහැ.

මට කියන්න පුළුවන් එකම දේ අධ්‍යක්ෂකවරයාගේ සමාජ දේශපාලන දෘෂ්ඨිය, තිර රචනය කියවීමෙන් අනතුරුව ඒ තිරරචකයා හා අධ්‍යක්ෂකවරයාට වඩා චිත්‍රපටය වෙනුවෙන් මා ඉටුකරලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ, තිරරචකයා හා අධ්‍යක්ෂකවරයා නිර්මාණයේදී කැමරාවෙන් පිටුපසයි වැඩ කටයුතු කරන්නේ. කැමරාව පිටුපස ඉන්න ඒ දෙදෙනාගේ දෘෂ්ඨිය ජනතාව අතරට ගෙන යන එකම වාහකය වුණේ රංගන ශිල්පිනිය විදිහට මමයි.

මා මට ලැබුණ ඕනෑම චරිතයකදී ඒක මගේ ප්‍රධානම වගකීම හැටියට සලකලා උපරිමයෙන් ඉෂ්ට කර තිබුණ නිසයි ලොස්ඇන්ජලිස් නුවර සහ සිංගප්පූරු අන්තර්ජාතික සිනමා ජූරිය මා ඇගයීමට ලක්කරමින් ඒ බව සනාථ කරල තියෙන්නේ.

මට කළ අසාධාරණය එය කළ අයටම බාරයි. හොඳම නිළියට ‍හිමි ඇගයීමක් දේශීය වශයෙන් හා ලෝක මට්ටමෙන් මට ලැබෙනවා නම් ඒකේ අදහස තමයි තිරරචකයා, අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වූ ඉලක්ක මා සපුරා දී තිබෙන බව. ඒත් මේ අධ්‍යක්ෂකවරු, අඩුම තරමින් ලැබිය යුතු වැටුපවත් මට ගෙවලා ඉවර නෑ. හෘද සාක්ෂියක් තියෙනවා නම්, වැදගත් අධ්‍යක්ෂවරුන් හැටියට මගේ වෘත්තීය වැටුප ගෙවන්න. ඒකයි මනුෂ්‍යත්වය.

l "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයට ඔබ කළ සාධාරණය මොන වගේද? ඒ සඳහා ඔබ සූදානම් වුණු පසුබිම කතා කළොත්?

"දැවෙන විහඟුන්" චිත්‍රපටයට සූදානම් වුණේ කොහොමද කියලා මට අද කියන්න පුළුවන්. ඒ කුසුම්ගේ චරිතය ආසියානු ලෝක චිත්‍රපට උළෙල දක්වා ගෙන ගියේ කොහොමද කියන කතාව.

මට අවුරුද්දකට එක් අධ්‍යක්ෂවරයෙක්, එක් චිත්‍රපට තිර පිටපතක්වත් බාර දෙනවා. එක්තරා අධ්‍යක්ෂකවරයකුගෙන් මට ලැබුණ තිර පිටපතකි. නම "බහුචිතවාදියා". ඒ තිරනාටකය මං කියවලා බැලුවා. පසුව අධ්‍යක්ෂවරයා සමඟ කළ සාකච්ඡාවකදී මං ඔහුගෙන් ඇහුවා මේ තිරනාටකයේ ජවනිකාවක් තියෙනවා කාන්තාව උඩුකය නිරාවරණව ඇඳෙහි නිදා සිටින. ඒ මට දුන්න චරිතය. මා අධ්‍යක්ෂකවරයාගෙන් ඇහුවා, ඒ කාන්තාව උඩුකය නිරාවරණය කර ඇඳෙහි නිදා සිටින්නෙ ඇයි කියලා? මේ තිරරචකයාට, අධ්‍යක්ෂවරයාට එයට පිළිතුරක් තිබුණේ නෑ.

වර්තමානයේ තරුණයෝ චිත්‍රපට කරන්නත් ඕනා. ජාත්‍යන්තරයට යන්නත් ඕන. හැබැයි කැමරාවට නිරාවරණය කරන ගැහැණු කය කාගෙද? ඒක රංගන ශිල්පිනියගේ. ඉතිං මං ඒ චරිතය අතඇරියා.

"දැවෙන විහඟුන්" තිරනාටකය ලැබුණාම මට පොළව පලාගෙන යන්න හිතුණා. පූර්ණ නිරුවත් ජවනිකා දහතුනක් එහි අන්තර්ගතයි. මං අභියෝග කරනවා සිංහල සිනමාවේ හැත්තෑ දෙවසරක ඉතිහාසය තුළ මෙවැනි නිරුවත් ජවනිකා සහිත චිත්‍රපටයක් නැහැ. මේ තිරනාටකයේ නිරුවත් ජවනිකා දහතුන කළේ ඇයි කියලා මං දැන් කියන්නම්.

මේ චිත්‍රපටයේ තිරනාටක රචකයා මෑතකදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී නිවේදිකාව සමඟින් කතා කරමින් කියනවා මේ චිත්‍රපටය ඔහුගේ ජීවිත කතාව බව. හැබැයි තිරනාටක රචකයාගේ, අධ්‍යක්ෂකවරයාගේ ජීවිතයට සම්බන්ධ චරිතයක් මේ දූපතින් එහාට ප්‍රතිනිර්මාණය කරන්නේ මා විසිනුයි. අතළොස්සක් අධ්‍යක්ෂකවරු හැරෙන්නට මේ රටේ බහුතරයක් අධ්‍යක්ෂකවරු රංගනය දන්නෙ නැහැ. ඒ වගේ ම මෙම අධ්‍යක්ෂකවරයා හිතන්නෙත් ඔහු පෞද්ගලික ජීවිතයේ අත්දුටු දෑ කැමරා රූපයට ගෙනෙන්න පුළුවන් නම්, එය හොඳටම ඇති කියලා. එතනදී තමයි මට පෞද්ගලික පුහුණුකරුවකු අභ්‍යාස සඳහා අවශ්‍යය වුණේ.

ඒ සඳහා මාස තුනක කාලසටහනක් සකස් කර මාත්, මගේ මහා ශක්ති රංග ශිල්ප ශාලිකාවේ පුහුණු අධ්‍යක්ෂකවරයාත් එක්ව සාකච්ඡා කර මගේ ශරීරයේ බර අඩුකර ගැනීමට ව්‍යායාම, ආහාර පාලනය ඇතුළුව පෙර සූදානමක නියැලුණා. මේ චරිතය ජීවිත දසාවන් තුනකින් බෙදා වෙන්කර ගත්තා. පළමු දශාව යහපත් බිරිය සහ මව, දෙවැන්න සැමියා ඝාතනයෙන් පසු වැන්දඹුව හා ධෛර්යසම්පන්න මව, තුන්වෙනි දසාව සමාජ විරෝධී අසම්මත ගැහැනිය. මට මේ පිටපතේ චරිතය විහිදයන කාලවකවානු තුන ඊට හුරු වර්ණ පද්ධතියක් සහිතව බෙදා වෙන්කළ හැටි මතකයි. පළමු දශාව අඩු පැහැයකිනුත්, දෙවැන්න ඊට වැඩි පැහැයකිනුත්, තුන්වෙනි දශාව රතු වර්ණයෙනුත් වර්ණ ගතකළා. හැම ජවනිකාවක්ම දර්ශන තලයට යන්න කළින් කොළඹදී පෙර පුහුණුවීම්වල යෙදුණා. මං හිතන්නේ තවත් විස්තර අවශ්‍ය නැහැ. ලොස්ඇන්ජලීස් නුවරදී ආසියානු ලෝක සම්මානය නිළියක් විදිහට හිමිකර ගැනීමට.

l ඔබ රඟපෑ අශෝක හඳගමගේ"තනි තටුවෙන්, පියාඹන්න" චිත්‍රපටය තවත් අභියෝගාත්මක චරිතයක්. ඒ වන විට ඔබ දරුවන් සිටින මවක්?

ගැහැනු කයක් ඇති මට පිරිමි වේශයෙන් රඟපෑමට ලැබීම පළමු අභියෝගය මේ චිත්‍රපටයේත් නිරුවත් ජවනිකා තුනක් අන්තර්ගත වුණා. ඒක දෙවෙනි අභියෝගය වුණා. තුන්වෙනි අභියෝගය ලංකාවේ ප්‍රේක්ෂකයන් හා විචාරකයින් මේ චිත්‍රපටය කොහොම බාරගනීද කියන එක? ගැහැනියක් මවක් විදිහට හැබැයි ඒ චිත්‍රපටය රඟපාලා අදට වසර පහළොවක් ගතවෙලා. මට තියෙන එකම අභියෝගය තමයි, ඒ වගේ සුවිශාල අභියෝගාත්මක රංගනයක යෙදුණ මට අධ්‍යක්ෂවරයාගෙන් ගෙවිය යුතු වේතනය ලබාගන්නේ කොහොමද කියන එක? මේ චිත්‍රපටය මෙරට පමණක් නොවෙයි විදෙස් රටවලත් ජනප්‍රිය කරවපු මට, ඔහු සළකපු ආකාරය හැමදෙනාම වගේ දන්නවා. අපි හැමදෙනාම ජීවත්වන්නේ පීඩිත පංතියේ. ඒ නිසයි එකට එකතුවෙලා කොන්දේසි විරහිතව මුළු ආත්මයෙන්ම කටයුතු කළේ. මා නැවතත් කියනවා. අශෝක හඳගම ඔහු මහත්මයෙක් නම් කරුණාකර මගේ වෘත්තීය වැටුප මට ගෙවන්න.

l ශ්‍රී ලාංකේය සිනමාව ගැන මේ වන විට ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

නළු නිළියන්ගේ පුහුණුව ඇයි ලංකා‍වට වැදගත් වෙන්නේ? නළු නිළියන් මේ ශිල්පය හැදෑරිය යුත්තේ ඇයි? කියන කාරණයෙන් ආරම්භ කළොත් සිනමා කර්මාන්තය උසස් කර්මාන්තයක් බවට පත්කර ගැනීමටයි එය වැදගත්. පසුගිය වකවානුවේ අපේ රටේ ඓතිහාසික කතා තේමාවන් රැගත් චිත්‍රපට රාශියක් බිහිවුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ, වලගම්බා, දුටුගැමුණු, එළාර, සිද්ධාර්ථ, දේවදත්ත වගේ බොහෝ චරිත අපේ රටේ නළුවෝ විනාශ කරලා දැම්මා. මේ රජවරුන් රාජකුමාරවරුන්ගේ චරිත රංගනයට ඔවුන්ට මොකක්ද කරන්න තිබුණේ. මේ චරිත ගැඹුරින් හදාරන්න ඕනා. රඟපෑම හදාරන්න ඕනා. එහෙම වුණා නම් අපිට පුළුවන් වෙනවා, ඉන්දියාවේ නිර්මාණය කළ "පද්මාවතී" චිත්‍රපටය වගේ අපේ චිත්‍රපටත් ජාත්‍යන්තරයට රැගෙන යන්න.

මෙතනදි නළු නිළියන් අවංක වෙන්න ඕනා. අධ්‍යක්ෂවරුන් පළපුරුදු ශිල්පීන් ශිල්ප හදාල නළු නිළියන් තමන්ගේ කෘතිවලට සම්බන්ධ කර ගන්න ඕනා. එහෙම නොවුණොත් අපට දකින්න ලැබෙන්නේ විකෘති සිනමාවක්.

ලංකාවේ සිනමාවට වසර හැත්තෑවක් සම්පූර්ණ වෙලා. ඒත් වගකිවහැකි සංවිධානයක් අපිට නෑ. ධනපති පන්තියේ සංගම්වලින් වන සුබසාධනය සිනමාවේ ප්‍රගමනයට යහපත් බලපෑමක් වන්නේ නැහැ.

l ලෝක සිනමාව හා අපේ සිනමාව ගැන ඔබගේ අදහස?

ලෝකය ඇතුළෙයි අපි ඉන්නේ. ඒ නිසා බෙදුම් රේඛා අඳින්න මං උත්සාහ කරන්නේ නැහැ. අද තරුණයින් ලෝකයේ හැම සිනමා ශානරයක්ම රසවිඳින, අධ්‍යයනය කරන අය. ඔවුන්ගේ පරිශීලනය ඇතුළේ අපේ සිනමාව තියෙන්නේ අන්තිම ස්ථානයේයි.

ඒ තරුණයින් සමාජ මාධ්‍ය තුළ සිනමා රසික සංගම් හදාගෙන ලෝකයේම සිනමාව රසවිඳිමින් විචාරයට හසුකර ගන්නවා. නමුත් ඒ අදහස්වත් අවබෝධ නොකරගෙන අපේ රටේ අධ්‍යක්ෂවරු චිත්‍රපට නිෂ්පාදනය කරනවා. විෂුවල් තින්කින් (රූප සිතුවිලි) ගැන හිතද්දී උදාහරණ විදිහට "යශෝධරා", "ගින්නෙන් උපන් සීතල", "නිදහසේ පියා" චිත්‍රපට අරන් බලන්න. දුර්වල මට්ටමක තියෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂවරුන්ට ඩිජිටල් තින්කින් (තාක්ෂණික සිතුවිලි) අවබෝධයක් නැහැ. "අසන්ධිමිත්තා", "එකෝඩින් ටු මැතිව්" චිත්‍රපට මීට උදාහරණ. අනෙක් කාරණය තමයි අධ්‍යක්ෂකවරයාගේ ජීවන දෘෂ්ඨියෙහි දුබලත්වය. උදාහරණයක් විදිහට මේ පොළොවේ ගැහැනියක් පිළිබඳ හදන චිත්‍රපටයක ඔවුන් ගැහැනිය අලෙවි භාණ්ඩයක් බවට පත්කර ගන්නවා. අනෙක් කාරණය අනියම් ගැහැනිය සමඟ යහන්ගත වන ඔවුන් ගෙදර ගැහැනිය හුදකලා කරනවා. තවත් කාරණයක් යුද්ධය හෝ ජාතිවාදී දෘෂ්ඨියෙන් කෘතිය නිර්මාණය කරනවා. තමන්ගේ පන්තියේ සොල්දාදුවාව පාවාදීලා පිටරටවලින් සම්මාන ලබාගන්නවා. නැත්නම් ඊළඟ චිත්‍රපටයට මූල්‍ය අරමුදල් සපයා ගන්නවා. මේවා බොරු කියනවා නම් මං ඔවුන් සමඟ විවෘත සංවාදයකට එන්න සූදානම්.

l ලෝක සිනමාවේ ඔබ සසල කළ සිනමා කෘතිය පිළිබඳ කතා කළොත්?

චිත්‍රපට තුනක් ගැන මං කතා කරන්න කැමතියි. විශේෂයෙන් මේ චිත්‍රපට මාව ග්‍රහණයට ගත්තේ මෙහි ස්ත්‍රී භූමිකාවල ප්‍රබලකම නිසා.

පළමු චිත්‍රපටය තමයි Jane Cantion අධ්‍යක්ෂකවරියගේ Piano (පියානෝ) චිත්‍රපටය මෙහි Holy Hunter (හෝලි හන්ටර්) අග්‍රගණ්‍ය සිනමා නිළිය කරන රඟපෑම මගේ සියොලඟම සලිත කළ රංගනයකින් යුතු චිත්‍රපටයක් වුණා.

දෙවැන්න DeneDek Sliequuf යන අධ්‍යක්ෂකවරයාගේ womb චිත්‍රපටය මෙහි Eva green (ඊවා ග්‍රීන්) නිළියගේ ආන්දෝලනාත්මක රඟපෑම ගැහැනියකට ආදරය වෙනුවෙන් මෙසේ කැපකිරීම් කළ හැකිද කියා හිතෙන අන්දමේ විශිෂ්ට චිත්‍රපටයක්. තුන්වැනි චිත්‍රපටය වන්නේ Shekhar kacur නමැති අධ්‍යක්ෂකවරයාගේ Bandit Queen (බැන්ඩිට් ක්වීන්) චිත්‍රපටය මෙහි Seema Biswas (සීමා බිස්වාස්) නම් අග්‍රගණ්‍ය නිළිය කළ රංගනය. මගේ නිළි ජීවිතයට පමණක් නොවෙයි පුද්ගලික ජීවිතයටත් විශාල බලපෑමක් කළ චිත්‍රපටයක් වුණා.

l ශ්‍රී ලාංකේය සිනමාවේ ස්ත්‍රී භූමිකාව පිළිබඳ කතාබහ කරද්දී අනෝමා ජනාදරී කියන ඔබ අතහැර කතා කරන්නට බැහැ. ප්‍රේක්ෂකයන්ට පොදුවේ සමාජයට හා සෙසු රංගන ශිල්පිනියන්ට දෙන්න තියෙන අදහස මොකක්ද?

මං හිතනවා මගේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට විශාල බලපෑමක් කළා කියලා. පුරුෂ මූලික හිංසනය ගැන පුරුෂයින් හැටියට සාරවත් යථාර්ථවාදී රසාස්වාදය මුවහත් කරගන්න.

සෙසු නිළියන් හැටියට චරිතයක් අධ්‍යයනය කොට සමාජ දේශපාලනය හදාරා රඟපෑමේ නියැලීමට. ඒත් මා අතින් සිදුවූ සේවය ගැන සෑහීමකට මං පත්වන්නේ නැහැ. ඔවුන් සිටි තැනින් ඉදිරියට ඇවිත් සක්‍රීයවීමත් මදි කියලයි මට හිතෙන්නේ. උදාහරණයක් විදිහට මගේ අත්දැකීමක් පිළිබඳව කතා කළොත් 2014 වසරේ මගේ මව්පියන්ගෙන් හිමිවූ ඉඩමක් විකුණලා මා ආරම්භ කළා නාට්‍ය හා රංගකලා වැඩමුළුවක්. ශාලා පහසුකම් සපයා දිවා ආහාර ආදියට වියදම්කොට පහසුකම් ලබා දී කළ වැඩමුළුවක්. පාසල් වියේදීම එයට එක්වූ නයනතාරා වික්‍රමආරච්චි එහි සිටි එක් අයෙක්. අපි ඉගැන්නුවේ හරවත් ශිල්ප ශාස්ත්‍ර පදනම් කරගෙන හොඳ සමාජ දේශපාලන පසුබිමක් තියෙන චරිත කරන ආකාරයයි.

ෂර්ලි සමරසිංහ

ඡායාරූප-දනංජය චතුරංග


අදහස් 1ක් ඇත

matath wiswasayi oya lankawe inna tharuwalata , udin ,,payana ek tharuwak kiya,, oba ahti daksayi,,

නව අදහස දක්වන්න