සහරාන් සමඟ සම්බන්ධතා පැවත් වූ විදුහල්පතිවරුන් දෙදෙනා 28 දා තෙක් රිමාන්ඩ් | දිනමිණ

සහරාන් සමඟ සම්බන්ධතා පැවත් වූ විදුහල්පතිවරුන් දෙදෙනා 28 දා තෙක් රිමාන්ඩ්

ආණ්ඩුව මඟින් තහනම් කළ තවුහීද් ජමාන් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන් හසීම් සමඟ කිට්ටු සම්බන්ධතා පැවත් වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් රජයේ පාසල් දෙකක විදුහල්පතිවරුන් දෙදෙනා පැය 72ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් එච්.කේ.හර්ෂණ මාලිංග ද අල්විස් මහතා ලබාදුන් නියෝගයෙන් අනතුරුව ඊයේ (19) සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පත්තෑව කටුපත්වැව හෙරොව්පොතාන ලිපිනයේ පදිංචි හොරොව්පොතාන වීරසෝලය මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති නූර් මොහොමදු අද්දරසුල් හා හොරොව්පොතාන ඇටවීරවැව මුස්ලිම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අබ්දුල් ජබාර් නිජාම් යන දෙදෙනායි.

අත්අඩංගුවට ගත් සැකකරා විදුහල්පතිවරුන් දෙදෙනා ත්‍රස්තවාදය වැලක්වීමේ 379 දරණ පනතේ 48 දරණ (තාවකාලික) විදිවිදානයට අනුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකාර විදුහල්පතිවරුන් දෙදෙනා රජයේ පාසලක සේවය කරමින් රජය මඟින් තහනම් කළ තවුහීද් ජමාන් අන්තවාදී ත්‍රස්ත සංවිධානයට උද වු උපකාර කර මුදල් ලබාගෙන තිබෙන බවට උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රංජිත් අබේසිරිගුණවර්ධන මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව හෙරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව රෝහන අධිකාරි මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් පත්තෑව කටුපත්තෑවේදි අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත්කළ තවුහීද් ජමාන් සංවිධානයේ හිටපු නායක මොහොමඩ් සහරාන් හසීම් හා මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කළ කෝටිපති ව්‍යාපාරික ඉන්ෂාන් ඊබ්‍රාහිම් සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වා තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙන බව අධිකරණයට දැන්වූ අතර තවත් අන්තවාදී මතයන් දරණ පුද්ගලයන් 18 දෙනෙකු සම්බන්ධයෙන් සැකකරුවන් ගෙන් අනාවරණය කරගෙන පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකාර විදුහල්පතිවරුන් දෙදෙනා විසින් සහරාන් හෂීම්ගේ අන්තවාදි දේශන සංවිධානය කර තිබෙන බවත් ඔවුන් අවස්ථා කිහිපයකදීම රහසි ගතව මොහොමඩ් සහරාන් හසීම් හා ඉන්ෂාන් ඊබ්‍රාහිම් කොළඹදී හමුවූ බවත් අනාවරණය කැර ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.එමෙන්ම සහරාන් හෂිම් ලබාදුන් මුදල් ආධාරමත සැකකරුවන් පත්තෑව කපුගොල්ලෑවේ ඉස්ලාම් දේවස්ථානයක් ඉදිකර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැන්වූවේය.

සැකකරුවන්ට දෙහිවල සිට මුදල් බැරකල නිෂාම් නැමත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බවත් ඔහු බැංකු ගත කළ මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිවැරදිව අනාවරණය කර ගැනීමට බැංකු වාර්ථා ලබා ගැනීමට අධිකරණ නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර නිෂාම් නැමත්තා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර් තුමේන්තුවට දන්වා ඇති බව පොලිසිය අධිකරණයට දැන්වූ අතර සිදු කෙරෙන විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ සහකාර පොලිස් අධිකාරි සරත් බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව රෝහණ අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණි ජයවර්ධන පොලිස් සැරයන්වරුන් වන 28071 ප්‍රේමරත්න 10516 සිසිර පොලිස් කොස්තාපල්වරුන් වන 2646 දිසානායක 50938 ගුණසේකර යන නිලධාරින් එක්ව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.

අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න