බැඳුම්කර නඩුව ස්ථිර මහාධිකරණයට | දිනමිණ

බැඳුම්කර නඩුව ස්ථිර මහාධිකරණයට

සීඅයිඩීය අධිකරණයට දන්වයි

මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සිද්ධිය ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ විමසීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි රහස් පොලිසිය ඊයේ (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පැවසීය.

වර්ෂ 2015/2/27 වන දිනට අදාළ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ විමර්ශන අවසන් බවට තමන් වෙත දැනුම් දී ඇති නීතිපතිවරයා සිද්ධිය ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට තීරණය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය. ජෙෆරි ඇලෝෂියස් මහතා විදේශගතවීමට අවසර ඉල්ලා අධිකරණය වෙත ගොනු කළ මෝෂම විභාගයට ගත් අවස්ථාවේ රහස් පොලිසිය මේ බව සඳහන් කළේය.

ඔහු විදේශගත වීමට විරුද්ධ වෙමින් රහස් පොලිසිය සඳහන් කළේ අත්‍යඅවශ්‍ය කරුණු සඳහා විදේශ ගත නොවන බවත් නඩුව ඉදිරියේ දී මහාධිකරණයේ විමසීමට නියමිත බැවින් ඊට විරෝධය පළ කරන බවත්ය.

දෙපාර්ශ්වයේ කරුණු සළකා සැකකරු මීට පෙර අධිකරණය මඟ හැර නොතිබීම හා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම සම්බන්ධව මෙතෙක් ස්ථිර දිනයක් නොතිබීම යන කරුණු අනුව ඔහුට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.

මේ අනුව ලබන මස 1 සිට 11වෙනි දින දක්වා චෙන්නායි විවාහ මංගල උත්සවයකට සහභාගීවීමට අධිකරණයෙන් අවසරය ලැබිණි. ලක්ෂ 25 බැගින් වූ ශරිර ඇප දෙකක් නියම කළ අධිකරණය ඥාතියකු එක් ඇපකරුවකු විය යුතු අතර, ඔවුන්ට අධිකරණ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කෙරිණි.

සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා


නව අදහස දක්වන්න