නවසීලන්තය ඕවර 46.1කදී කඩුලු 5කට ලකුණු 211යි | දිනමිණ

නවසීලන්තය ඕවර 46.1කදී කඩුලු 5කට ලකුණු 211යි

වැස්ස හරස්වූ තරගයේ ඉතිරි කොටස අද

මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට වැස්සෙන් බාධා ඇති විය.

ආරම්භයේ සිටම තරගයේ පාලනය සතුකරගත් ඉන්දීය පන්දු යවන්නෝ ඕවර 46ක් නිමාවනවිටත් නවසීලන්තයට ලබාදී තිබුණේ ලකුණු 211ක් පමණි. ඒ අතරතුර කඩුලු 5ක් බිඳ දැමීමට ඔවුන් සමත් වූහ.

47 වැනි ඕවරයේ පළමු පන්දු යැවීමෙන් අනතුරුව වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරිණි. මෙරට වේලාවෙන් පස්වරු 6.30ට පමණ තරගය නතර කළ අතර වර්ෂාව නිසා රාත්‍රි 10.50 වනවිටත් යළි ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන් තරගය නතර කෙරිණි.

මේ තරගාවලියේ අවසන් පූර්ව තරග 2කට සහ අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක් බැගින්ද ලබාදී තිබේ. ඒ අනුව අද තරගය යළිත් පැවැත්වෙනු ඇත. මේ තරගය නව තරගයක් ලෙස ආරම්භ නොවන අතර අද පැවැත්වෙන්නේ තරගයේ ඉතිරි කොටසයි. එංගලන්ත වේලාවෙන් පෙ.ව. 10.30ට යළිත් ආරම්භ වන තරගයේදී නවසීලන්තය ඕවර 3.5කට මුහුණ දිය යුතු අතර අනතුරුව ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ වෙයි.

ඉනිම ගොඩනැගීමේ සටනක නිරතවූ රොස් ටේලර් ලකුණු 67ක් සහ ටොම් ලේතම් ලකුණු 3ක් රැස්කර නොදැවී කඩුල්ලේ රැදී සිටිති. පන්දු 85කට මුහුණදුන් ටේලර් හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය. ඊයේ ඔහු රැස්කළේ 50 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

ලකුණු 69කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි ටේලර්, නායක කේන් විලියම්සන් සමගින් එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 102කින් ලකුණු 65ක් එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 134 දක්වා ඉදිරියට ගෙන ගියේය.

යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ විලියම්සන් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවට පත්විය. 39 වැනි එක්දින අර්ධ ශතකය ලෙස පන්දු 95කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 67ක් රැස්කළ විලියම්සන් ඉන් පෙර දෙවැනි කඩුල්ලට හෙන්රි නිකෝල්ස් සමග එක්ව ලකුණු 68ක සබඳතාවක් ගොඩනගා තිබිණි.

රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 28කට ලබාසිටි නිකෝල්ස් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර නිලකුණු ඕවර 2කට පසුව ඉනිමේ තෙවැනි ඕවරයේ දී නවසීලන්තය වෙනුවෙන් පළමු ලකුණ රැස්කළ මාටින් ගප්ටිල්ට තවත් ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොදුන් ජස්ප්‍රීට් බුම්රා ඔහුව පිටියෙන් ඉවත් කළේ නායක විරාත් කෝලි උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

හර්දික් පාන්ඩ්‍යාගේ පන්දුවකට දිනේෂ් කාර්තික්ගේ උඩ පන්දුවක් රැකීම හමුවේ ලකුණු 12ක් ලබාසිටි ජෙම්ස් නීෂම් ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 162දීය.

තවත් ලකුණු 38ක් ඉනිමට එක් වෙද්දී නවසීලන්ත පිලේ 5 වැනි කඩුල්ල බිඳ දැමීමට බුවනේෂවර් කුමාර්ට හැකිවිය. මහේන්ද්‍ර සිං දෝනි උඩ පන්දුවක් රැක ගැනීමෙන් කොලින් ඩි ග්‍රැන්ඩෝම්ගේ ඉනිම ලකුණු 16කට සීමා විය.

නව අදහස දක්වන්න