අන්තවාදීන් බිහි වුණේ රාජපක්ෂ සමයේ | දිනමිණ

අන්තවාදීන් බිහි වුණේ රාජපක්ෂ සමයේ

කමනි අල්විස්

ඒකාබද්ධ විපක්ෂය සහ පොහොට්ටුව එක්ව ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කෙරෙන ජනපති අපේක්ෂකයාගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළාද යන්න පිළිබඳ අමෙරිකාව නොබෝ දිනකින් දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. රාජ්‍ය ඇමැතිවරයෙක් මෙම ගැටලුව අමෙරිකා තානාපති කාර්යාලයෙන් විමසූ විටදී ඉක්මණින් ඒ ගැන ප්‍රකාශයක් සිදු කරන බව අමෙරිකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (9) අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මෙම අදහස් දක්වමින් තවදුරටත් මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික දරුවන්ට එක්ව අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් පාසල් තුළ මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එයින් අන්තවාදී මතවලට ගැති වීම වැළකී ශ්‍රී ලාංකේයන් ලෙස සමාජගත වීමෙන් යහපත් ප්‍රතිඵල ඇති විය හැකි බව පෙන්වා දුන්නේය. උගත් බුද්ධිමතකු වන ඉමිතියාස් බාකිර් මාකර් මහතා කොළඹ ආනන්ද විදුහලේ සිසුවකු බව උදාහරණයක් දක්වමින් පහදා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ කොළඹ රාජකීය විදුහලේ මිශ්‍ර අධ්‍යාපනය තිබුණත් ආනන්ද නාලන්ද විදුහල්වල මිශ්‍ර අධ්‍යාපනය ලබා නොදෙන බවයි.

පාස්කු දිනයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු බලවත් ලෙස ජාතිවාදය වපුරන ඒකාබද්ධ විපක්ෂය විසි දෙලක්ෂයක් පමණ වන මුස්ලිම් ප්‍රජාව අන්තවාදීන් ලෙසට පත් කර සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් මැතිවරණ ජය ගැනීමේ පිළිකුල් සහගත ක්‍රියාවක යෙදෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

2015දී ජනතාව නිහඬ පෙරළියක් සිදු කළා. එසේ ඇති කළ පෙරළිය සමඟ ජනතාව ඉදිරියට ගමන් කරනවා.

සිංහල බෞද්ධ ඡන්ද වලින් ජනාධිපතිවරණය දිනීමට වළිකන ඒකාබද්ධය සුළු ජාතීන්ට රටේ පවතින්නේ අනාරක්ෂිත තත්ත්වයක් බවට අසත්‍ය තොරතුරු ගෙන හැර දක්වනවා. මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන අවස්ථාවක රජය ඊට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. දහනම වැනි සංශෝනයෙන් අප ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ දිය නොහැකියි.

‍කොලොන්නාව උප නගරාධිපති පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් බවට අමූලික බොරුවක් එක්තරා මාධ්‍යයක පළ කලා. එහි දැක්වෙන්නේ වසර 2006 ඡායාරූපයක්. එහි දැක්වෙන්නේ එවකට හිටපු උප සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගැනීමයි. මාධ්‍ය තුළින් මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමෙන් ඉටු කරන්නේ කාගේ දේශපාලන වුවමනාවක්ද?

රජයේ සංවර්ධනය ගැන තොරතුරු දීමට මාධ්‍ය සූදානම් නෑ. අපේ රජයෙන් මාධ්‍යවේදීන්ට තර්ජන පහරදීම් පැහැරගෙන යාම් ඝාතන සිදු කළේ නෑ. මතකද පෝද්දල ජයන්ත මාධ්‍යවේදියාට සිදු කළ දේ? වැඩිය දඟලන්න එපා කියලා තර්ජනය කළා. අවසානයේදී පැහැරගෙන ගොස් කකුල කඩලා දැම්මා. මෑතකදී ඔහුව මට අමෙරිකාවේදී මුණ ගැසුණා. ඔහු කඳුළු වගුරවමින් මට පැවසුවේ කකුලට සැත්කමෙන් පසු දැමූ ඇල්මේනියම් තහඩු හේතුවෙන් සීත සෘතුවේදී දරන්නට බැරි වේදනාවකින් පෙළෙන බවයි. මිනීමරුවෙක් ජනාධිපති බවට පත්වුවහොත් මාධ්‍යවේදීන්ටත් නැවත අත්වන ඉරණම අමුතුවෙන් කිව යුතු ‍නෑ නේද? අප දිනාගත් ජයග්‍රහණ කෙසේවත් ආපස්සට හරවන්න සූදානම් නෑ. ආර්ථික සාමාජයීය වශයෙන් ජයග්‍රහණ රැසක් අපි හිමි කර ගත්තා.

මිනීමැරුම්, හොරකම්, කුපාඩිකම් වපුරපු උදවිය ඒ අයුරින්ම අන්තවාදය වපුරනවා. අන්තවාදීන් බිහි වුණේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. එය කිසිවකුටත් නෑ කියන්න බෑ.

මද්‍රසා පාසල් කොටස් දෙකක්. ඉරිදා උදේට ආගම් ඉගැන්වීම එක කොටසක්. අනෙක් කොටස මව්ලවිවරුන්ට අධ්‍යාපනය ලබාදීමයි. මෙය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදු වන්නක්.

හලාල් අයිතිය දිය යුතුයි. ප්‍රමිති ආයතනය හරහා රජයේ අධීක්ෂණයට යටත් කර එය සිදු විය යුතුයි.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධය සුළු ජාතීන්ව මානසික ශාරීරිකව ව්‍යාපාර මට්ටමෙන් පීඩාවට පත් කරනවා. මේ ගැන ආණ්ඩුව දැඩි තීන්දු තීරණ ගත යුතුයි.

ගම්පෙරළියෙන් ගමේ සංවර්ධනය සඳහා මිලියන ගණනින් රජය වැය කරනවා. අධිවේගී මාර්ග, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති සේවක වැටුප් වැඩිකිරීම, විශ්‍රාම වැටුප් වැඩි කිරීම, රණවිරු වැටුප් වැඩි කිරීම ඇතුළු සුබසාධනය යනාදි කටයුතු රැසක් සිදු කළා.

කොලොන්නාව පෙර නොවූ විරූ සංවර්ධනයක් ඇති කළා. ගංවතුර තර්ජනය මැඬ පැවැත්වීමට මිලියන තුන්දහසක් වියදම් කර පොම්පාගාර හදනවා. කුණු කන්ද තිබුණ තැන මනහර උද්‍යානයක්. රුපියල් ලක්ෂ එක්දහස් එකසියක් වැය කර ඉදි කළ මාර්ග විවෘත කළා. විහාරස්ථාන හැට දෙකකට මූල්‍ය ආධාර පිරිනැමුවා. මෙවර ජනාධිපතිවරණය අපි දිනනවා. වැඩි කාලයක් නොගොස් පාර්ලිමේන්තු ඡන්දය පවත්වනවා. එයත් ජයගන්නවා යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හමුවේ මන්ත්‍රීවරයා ලබාදුන් පිළිතුරු

ප්‍රශ්නය - ගෝඨාභය මහත්තයා අපේක්ෂකයා වීම අභියෝගයක්ද?

පිළිතුර - ඉතාම පහසුයි අපගේ ජයග්‍රහණය. ඔහු ගැන කීමට නොයෙකුත් දේ අපට තිබෙනවා.

ප්‍රශ්නය - සෝෆා ගිවිසුම අස්සන් කිරීමට ගෙන යන ප්‍රචාර සත්‍යද?

පිළිතුර - ප්‍රචාරය කරන අයට කියන්න අපි අස්සන් තැබූ ගිවිසුම පෙන්වන්න කියලා. ඔය ගිවිසුම අපි අස්සන් කළේ නෑ. මම රටට ආදරෙයි. රට නැති කරන ගිවිසුම්වලට අපි අස්සන් තබන්න දෙන්නේ නෑ. බරපතළ වංචා දූෂණ චෝදනා තිබෙන උදවිය බන්ධනාගාරවල සිටිය යුතුයි. ඒත් එය සිදුවී නෑ.

ප්‍රශ්නය - වසර හතරහමාරක් වංචා දූෂණ වල යෙදුණු අයට මොනවද ආණ්ඩුව කළේ?

පිළිතුර - ඇත්ත මේ දේ සිදු කරන්න බැරි වුණේ ජනාධිපති අගමැති පක්ෂ දෙකක සිටීමයි. ඒ නිසා තමයි මෙවර අපි එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ.

ඡායාරූපය - චමින්ද නිරෝෂන්

නව අදහස දක්වන්න