හිජාබයට අවසර ඉල්ලා ගුරුවරියක් නඩු පවරයි | දිනමිණ

හිජාබයට අවසර ඉල්ලා ගුරුවරියක් නඩු පවරයි

නෙල්කා මැදගෙදර

ගුරුවරියක වන තමන් සුපුරුදු ඇඳුම වන හිජාබය සහිත ආබායාවකින් සැරසී රාජකාරියට වාර්තා කළ අවස්ථාවේදී පාසලට ඇතුළුවීමට ඉඩ නොදීමෙන් මහනුවර, රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය මූලික අයිතීන් කඩ කළ බව පවසමින් මුස්ලිම් කාන්තාවක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන සැප්තැම්බර් 09 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) තීරණය කෙළේය.

සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

මොහොමඩ් ඊබ්‍රාහිම් ෆාහිම් සහරීන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ‍ලේකම් ජේ. ජේ. රත්නසිරි, රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා, රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

අප්‍රේල් 21 සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමේදී සැරසිය යුතු ඇඳුම සම්බන්ධ චක්‍රලේඛනයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැයි මස 29 දින නිකුත් කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.

එම චක්‍රලේඛය අනුව බුර්කාව හැඳිය නොහැකි අතර හිජාබය සහ බුර්කාව අතර වෙනසක් තිබෙන බව පෙත්සමෙහි සඳහන් වේ.

මෙකී චක්‍රලේඛය පිළිබඳව නොදැන සිටි තමා ඉකුත් මැයි මස 31 දින සුපුරුදු ඇඳුම වන හිජාබය සහිත ආබායා ඇඳුම හැඳ රණබිම ජාතික පාසලේ සේවයට වාර්තා කළද පාසලේ විදුහල්පතිවරයා විදුහලට ඇතුළත් වීමට ඉඩ නොදුන් බව පෙත්සමෙහි දැක්වේ. හිජාබය සහිත ආබාය ඇඳුම නීතිවිරෝධි ඇඳුමක් නොවන බවද පෙත්සමකාරිය සඳහන් කරයි. එසේම අදාළ චක්‍රලේඛයට පටහැනි ඇඳුමක් නොවන බවද සඳහන් වේ.

එසේ තිබියදී තමන්ට රාජකාරියට වාර්තා කිරීමට බාධා කිරීමෙන්ව වගඋත්තරකරුවන් විසින් මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලෙස පෙත්සම්කාරිය ඉල්ලා සිටී.

ඊයේ (09) පෙත්සම කැඳවු අවස්ථාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දික දේමුනි ද සිල්වා මහත්මිය සඳහන් කළේ පෙත්සමෙහි සඳහන් චක්‍රලේඛයෙන් පසුව රාජ්‍ය සේවකයන් ඇඳිය යුතු ඇඳුම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවය.

ඒ අනුව එකී චක්‍රලේඛය අනුව පෙත්සම්කාරියගේ ඇඳුම වන හිජාබය සහිත ආබාය ඇඳීමට බාධාවක් නැති බව සඳහන් කෙරිණි.

කෙසේ වුවද එම චක්‍රලේඛය මඟින් තමන්ගේ සුපුරුදු ඇඳුමට බාධාවක් වන්නේද යන්න අධ්‍යයනය කොට පසුව කරුණු දක්වන බව පෙත්සම්කරුගේ නීතිඥවරයා අධිකරණයට සඳහන් කෙළේය.

ඒ අනුව පෙත්සම් සැප්තැම්බර් 04 දින කැඳවීමට තීරණය කෙරිණි.

නීතිඥ විරාන් කොරයා මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න