දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට වන්දි දීම ඇරඹුනා | දිනමිණ


 

දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට වන්දි දීම ඇරඹුනා

දේශපාලන වශයෙන් ශාරීරික හා දේපොළ පීඩාවලට ලක් වූවන්ට , ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි ලබාදීමේ ක්‍රියාවලිය අද(10) සිට ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා පැවසීය.

දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට මෙම 1වැනි දා වනවිට මුල් කණ්ඩායමේ වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඉතිරි කණ්ඩායමේ වන්දි මුදල් ප්‍රදානය අගෝස්තු මාසය වන විට සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් පැවසූ ඒ මහතා සියලුම අැමැතිවරු තමන්ගේ අමාත්‍යංශයේ යම් කෙනකුට දේශපාලන පීඩාවට ලක් වී සහන නොලැබී තිබෙනවා නම් ඒ සහන සලසා දීමට බලය තිබෙන බවත් පෙන්වා දුන්නේ ය.

දේශපාලන පලිගැනීමේ කමිටුව නිර්දේශ කරන ලද නියමයන් / සහනයන් ක්‍රියාත්මක කිරීමට යම් බාධාවක් තිබෙනවා නම් ඒ සියල්ල පිළිබඳව ජූලි මාසයේ 30 වැනිදා වන විට අගමැති ලේකම්තුමා වෙත ලිඛිතව වාර්තාව එවීම සිදු කළ යුතු බව දැනුම් දෙමින් අදාළ චක්‍රලේඛය ද ඉදිරිපත් කැර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කෙළේ ය.

දේපොළ , ශාරීරික පීඩාවලට ලක්වූ පිරිස , රාජ්‍ය සේවකයන් වශයෙන් උසස් වීම් ලබා නොදෙමින් , වැටුප් වැඩි වීම් ලබා නොදෙමින් , දුෂ්කර ස්ථාන මාරු වීම් ලබා දෙමින් දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන් ගණන ආසන්න වශයෙන් 30,000 ක් පමණ ද ජීවිත හා දේපොළ හානි සිදු වූ සංඛ්‍යාව 2000 කට ආසන්න වෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සහන දෙන්නේ නැහැයි කියා ප්‍රශ්නයක් තිබුණා. අපි ආරම්භ කෙළේ හවුල් ආණ්ඩුවකින් . රාජ්‍ය සේවකයා දේශපාලන පලි ගැනීමට ලක් කළ උදවිය මේ ආණ්ඩුවේ කොටස්කාරයන් වී සිටියා. රටේ පුරවැසියන් දේශපාලන පලිගැනීම්වලට ලක්කළ උදවිය අපේ ආණ්ඩුවේ කොටස්කාරයන් වී සිටියා. කැබිනට් මණ්ඩලයේත් කොටසක් සිටියා. රාජ්‍ය ඇමැතිවරු , නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරුන් විදිහට ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස සිටියා. පලිගැනීමට හිරිහැරයට ලක් කළ උදවියම සහන දෙන්නට එකඟ නොවීම නිසා අපි ලොකු ප්‍රශ්නයක හිටියා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිටි කණ්ඩායම අපි සමඟ ආණ්ඩුවේ සිටින විට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේදී අපේ සහන ලබාදීමේ ක්‍රියාවලිය අපහසුතාවයට පත් වන ආකාරයට තමයි කැබිනට් පත්‍රිකාව අනුමත කරගන්න සිදු වුණේ. එහිදී ඒ බලධාරීන්ගෙන් විමසලා කටයුතු කරන්න සිදු වුණා. ඒ නිසා බලාපොරොත්තු වූ අන්දමට සහනය දීගන්න බැරි වුණා. නමුත් අපි මෙම කැබිනට් පත්‍රිකාව වෙනස් කරන්න කටයුතු කළා. මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට , රාජ්‍ය පරිපාලන අැමැතිතුමාට මෙහි දෝෂසහගත තත්ත්වය පෙන්නුම් කළා. පසුව අගමැතිතුමා මෙම කැබිනට් පත්‍රිකාව නැවත සංශෝධන කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එහිදී එය සම්මත කර ගැනීමට හැකි වුණා. රාජ්‍ය සේවකයා දේශපාලන පීඩනයට පත්කරන්න කටයුතු කළ අයගෙන්ම විමසලාම සහන දෙන්න තිබුණා. ඒකොන්දේසිය ඉවත් කරන්න පියවර අරන් තිබෙනවා.

මෙම කැබිනට් පත්‍රිකාවට අනුව දේශපලාන පලිගැනීම් වලට ලක්වූ උදවියට සහන දීමේ කටයුතු සිදු කරන්නට අමාත්‍යංශයේ අැමැතිතුමාට බලය තිබෙනවා. ඒවාගේම මෙම කැබිනට් පත්‍රිකාව සම්මත වන විට ඊට අනුව කටයුතු සිදු කිරීම සඳහා අගමැති ලේකම්වරයාට බලය දී තිබෙනවා . ඒ අනුව අගමැති ලේකම්වරයා මේ වනවිටත් සියලුම අමාත්‍යංශ වලට මේ කැබිනට් පත්‍රිකාවට අදාලව නිකුත් කරන ලද චක්‍රලේඛනයේ පිටපතක් යැවීමට කටයුතු කර තිබෙනවා. මේ මාසේ 15 වැනිදා වන විට සියලුම අමාත්‍යංශ , අැමැතිවරු තමන්ගේ අමාත්‍යංශයේ යම් කෙනෙකුට දේශපාලන පීඩාවට ලක් වී සහන නොලැබී තිබෙනවා නම් ඒ සහන සලසා දීමට බලය තිබෙනවා. යම් ස්ථානයක පලාත් සභා හෝ වෙනත් නීතිමය ගැටලු තිබෙනවා නම් ඒ දේශපාලන පලිගැනීමේ කමිටුව විසින් නිර්දේශ කරන ලද නියමයන් / සහනයන් ක්‍රියාත්මක කිරීමට යම් බාධාවක් තිබෙනවා නම් ඒ සියල්ල පිළිබඳව ජූලි මාසයේ 30 වැනිදා වන විට අගමැති ලේකම්තුමා වෙත ලිඛිතව වාර්තාව එවීමට මෙම චක්‍රලේඛය අනුව දැනුම් දී තිබෙනවා. ඒවාගේම ඛේදනීය සිදුවීම් විශේෂයෙන්ම රත්නපුර , ආණමඩුව , ඇඹිලිපිටිය , කෑගල්ල , අනුරාධපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක තිරිසන් නොහික්මුණු සිදු වීම් සිදු වුණා. ඒ අය සඳහා වන්දි ලබාදීම කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් ඒ ක්‍රියාවලිය ප්‍රමාද වී තිබුණා. නමුත් මා ලේකම්ධූරය ලබාගත් මෙම මාස තුන ඇතුළත අප ඒ ක්‍රියාවලිය වේගත් කළා.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න