විරෝධතා! | දිනමිණ

විරෝධතා!

විරෝධතා දක්වා ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කිරීමත්; රාජ්‍ය දේපොළ විනාශ කරමින් පාලකයන්ට අභියෝග කිරීමත් රටේ එක්තරා මෝස්තරයකි. විරෝධතා, පෙළපාළි, උද්ඝෝෂණ, පා-ගමන්, උපවාස නැති දවසක් නැත. මේවා කෙතරම් ප්‍රචලිත ද යත්; පූජ්‍ය පක්ෂයේ ඇතැම්හු පවා ඊට සහභාගී වෙති. පූජ්‍ය පක්ෂයේ සමහරු ඒවා මෙහෙයවති. ඇතැම්විට මේවායෙහි විහිළුකාර ස්වරූපයක් ද තිබේ. “පාරවල් හදල දියව්!” යනුවෙන් පෙළපාලි යන අයම නැවත අමෙරිකන් ආධාර එපා යැයි පෙළපාළි යති. අමෙරිකාව ලබාදීමට නියමිත ආධාරවලින් කොටසක් වෙන්කර ඇත්තේ මාර්ග සංවර්ධනය සඳහා ය.

පෙරේදා බේරුවල රේල් ගේට්ටුව අසලදී තවත් උද්ඝෝෂණයක් දැකගන්නට ලැබිණි. රේල් පාර අවහිර කළ උද්ඝෝෂකයෝ මාතර ශීඝ්‍රගාමී කෝච්චිය පැය කිහිපයක් නවත්වාගෙන සිටියහ. උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ රේල් ගේට්ටුවක් හා මුරකරුවකු ලබාදෙනු යන්න ය. පොලිසිය මැදිහත් වී තත්ත්වය තාවකාලික ලෙස සමහන් කළේ ගේට්ටුවක් ලබාදෙනතුරු තාවකාලික මුරකරුවකු එම ස්ථානයට යොදවන බවට පොරොන්දුවක් ලබා දෙමින් ය. මුරකරුවකු පිනට තබාගත නොහැකි ය. මේ අනුව මුරකරුවාගේ ගාස්තුව පොලිසියට ගෙවන්නට සිදුවනු ඇත. පොලිසිය මේ ගැටලුවට මැදිහත් වන්නේ විරෝධතාව පොදු ගමනාගමනයට හා පළාතේ සාමයට බාධාවක් වන නිසා ය.

රටේ සෙසු ප්‍රදේශවල ජනතාව ද බේරුවල ආදර්ශය ලබාගතහොත් රට පුරා මෙබඳු විරෝධතා විශාල ප්‍රමාණයක් එකවර ක්‍රියාත්මක වන්නට පුළුවන. දුම්රිය හරස් මාර්ග සේම යාන්ත්‍රික ගේට්ටු නැති ස්ථාන සැලැකිය යුතු ප්‍රමාණයක් රටේ ඇති බැවින් ය. දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු පමණක් නොව; දුම්රිය සේවය ද යථා තත්ත්වයට පත් කළ යුතුය. මාර්ග සංවර්ධනය ද ගමට යා යුතුය. මේ සියල්ල එකවර කළ හැකි නම්; යහපත් ය. එහෙත් එබඳු ආර්ථික ශක්තියක් ශ්‍රී ලංකාවට නැත. ලෝක ආධාර හා ණය ලබාගැනීමට සිදු වී ඇත්තේ ද ශ්‍රී ලංකාව අමාරුවෙන් නැඟිටීමට වෙරදරන රාජ්‍යයක් නිසා ය. මේ තත්ත්වය දේශපාලකයන් පමණක් නොව මහජනයා ද වටහාගැනීම වැදගත් ය.

උද්ඝෝෂණ, පෙළපාළි, වර්ජන හා තවත් විරෝධතා නිසා රටේ ආර්ථිකයට සිදුවන බලවත් පාඩුව ගැන කිසිවකුගේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙන්නට නැත. වෘත්තීය සමිති තම ඉල්ලීම් දිනාගැනීම සඳහා හැකිතාක් වැඩ වර්ජන ක්‍රියාත්මක කරන තැනකට වැටී ඇත. ඇතැම් දේශපාලන පක්ෂ හා දේශපාලන ව්‍යාපාර හැකිතාක් විරෝධතා සංවිධාන කරන තැනකට වැටී ඇත. රටේ දේශපාලනය තුළ ඇත්තේ බල තරගයක් බව පෙනෙයි. මේ කිසිවකුට රට හදන සාර්ථක වැඩපිළිවෙළක් හෝ වැදගත් ප්‍රතිපත්ති හෝ නැති බව ද පෙනෙයි. මෙබඳු පසුබිමක් තුළ රට ගමන් කරන්නේ කොතැනකට ද යන්න නිශ්චය කිරීම අපහසු ය.

රටේ උසස් අධ්‍යාපනය සඳහා රජය විශාල මුදලක් වැය කරන’මුත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ස්වකීය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන බවක් පෙනෙන්නට නැත. ශිෂ්‍ය ප්‍රජාවෙන් කොටසක් අධ්‍යාපනය අතහැර දේශපාලනයට ප්‍රවේශ වී සිටිති. මේ අනුව සතියකට දින දෙකක් - තුනක් මහ පාරේ විරෝධතා දැක්වීම සිරිතක් බවට පත්වී ඇත. විශ්වවිද්‍යාල තුළ නිසි අධ්‍යාපනයක් සිදුවන බවක් පෙනෙන්නට නැත. රටේ අනාගත සංවර්ධනය උදෙසා අවශ්‍ය වෘත්තිකයන් හා උගතුන් අපේ උසස් අධ්‍යාපන ආයතන වෙතින් අපේක්ෂා කළ හැකි ද යන්න ගැටලුවකි. විශ්වවිද්‍යාල තුළ එක්කෝ අධ්‍යාපනය තිබිය යුතුය. නැතහොත් දේශපාලනය තිබිය යුතුය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට මෙන්ම පුද්ගල නිදහසට බාධා නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. වත්මන් රජය ද ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ලබාදීමට ක්‍රියාකර ඇත. අද වනවිට මාධ්‍යවේදීන් අතුරුදන් වන්නේ නැත. උද්ඝෝෂකයන් පසුපස සුදු වෑන් එන්නේ නැත. වෘත්තීය සමිති නායකයන්ට පහරදීම් සිදුවන්නේ නැත. එහෙත් මේ අවකාශය නිසි අයුරින් භාවිත වන බවක් පෙනෙන්නට නැත. නිදහස මුළුමනින්ම අවභාවිත කරන අයුරු දැකගත හැකි ය. මහජනයා තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා විරෝධතා දක්වන ක්‍රමයක් මීට පෙර පැවැතියේ නැත. අද වනවිට ගුරුවරයකුගේ මාරුවක් සම්බන්ධයෙන් වුව පාර අවහිර කරන තැනකට මහජනයා ගොස් තිබේ. මහාමාර්ග අවහිරකොට විරෝධතා දැක්වීම ජනප්‍රිය ම සටන් මාර්ගය වී තිබේ.

ලෝකයේ හොඳම සංචාරක මගපෙන්වන්නා ලෙසින් ප්‍රකට “ලෝන්ලි ප්ලැනට්” සඟරාව සංචාරය සඳහා ලොව වඩාත් සුදුසු රාජ්‍යය හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. මෙය අපට මහත් අභිමානයක් වුව; ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයාට අපේ රට සුන්දර තැනක් වෙයි ද යනු ගැටලුවකි. දුම්රිය වර්ජන නිසා සංචාරක ගමන් අවලංගු කරගන්නා ඇතැම් සංචාරකයෝ කාලය නාස්ති වීම ගැන දොස් නඟති. විරෝධතා නිසා පාරවල් අවහිර වන විට ශ්‍රී ලංකාවේ නීතිය ගැන විදේශිකයෝ පුදුම වෙති. බැහැර සිට ශ්‍රී ලංකාව දෙස බලන කෙනකුට දැකගත හැක්කේ අවුල් ජාලයකි. රජය එක අවුලක් විසඳනවිට ප්‍රතිවාදීහු තව අවුලක් ඇති කරති.

විරෝධතා පමණක් නොව; දේශපාලන කුමන්ත්‍රණද ක්‍රියාත්මක වෙයි. පාර්ලිමේන්තුවට මෙතරම් විශ්වාසභංග ඉදිරිපත්වූ වෙනත් කාලයක් ඉතිහාසයේ නැත. මෙතෙක් ඉදිරිපත් වූ සෑම විශ්වාසභංගයක් ම රජය ජයගෙන ඇත. ඉන් පෙනීයන්නේ ව්‍යාජ විශ්වාසභංග ඉදිරිපත් වන බව ය. රජයේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට නම්; මේ සියල්ල පරාජය කළ යුතුව තිබේ. ඇතැම්විට ඒ සඳහා දැඩි තීන්දු - තීරණ ගැනීමට සිදුවනු ඇත. පාලකයන් එඩිතර විය යුතු බව ද ශූර බුද්ධියකින් ක්‍රියා කළ යුතු බව ද මැකියාවෙලී කියා ඇත. ජේ. ආර්. ජයවර්ධන මහතා සිය පාලන සමය තුළ මැකියාවෙලීගේ ආදර්ශය ලබාගත් බව කියති.

 

නව අදහස දක්වන්න