ඔක්. 22දා කරු ජයසූරිය නිර්භීත තීන්දුවක් නොගත්තා නම් අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ | දිනමිණ

ඔක්. 22දා කරු ජයසූරිය නිර්භීත තීන්දුවක් නොගත්තා නම් අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ

සටහන සහ ඡායාරූප-මැද කොළඹ සමූහ

එදා කරු ජයසූරිය මහතා පසුගිය ඔක්තෝම්බර් 22 දා නිර්භීත තින්දුවක් නොගත්තානම්, අද වෙද්දි වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කර ඇතැයිද මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දිනන්න පුළුවන් නායකයා කරු ජයසූරිය මහතා බවද විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (10) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු, 46 වන සුගතදාස ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය මහතා සහ කොළඹ දිස්ත්‍රික් උප නගරාධිපති එන්.එම්. ඉක්බාල් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කරුණානායක මහතා,

“එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් සමාව අයැදිනවා. එදා ගෙවල් හදනවා, සමාජ සේවා ඇති කරනවා. සුගතදාස මැතිතුමා ඇතිකළ අඩිතාලම මතින් අද මටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා. තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා. එදා 2018 ඔක්තෝබර් 22 දා කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමඟ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා තමයි, අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙන්නේ. එදා කරු ජයසූරිය මැතිතුමා නිර්භීත තීන්දුවක් නොගත්තානම්, අද වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරලා, 2015 පෙර තිබූ තත්ත්වයට ගමන් කරලා කටයුතු කිරීමක් තමයි සිදු වෙන්නේ. එදා ඒ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව තුළින් රටේ සෑම ස්ථානයකම, සෑම පක්ෂයකම සියලු ජාතීන් ආගම් එකතුවෙලා අලුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙන යාහැකි නව උපතක් ලබාදුන්නා“ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

“1912 ජූලි මාසේ 07 දා මෙලොව එළිය දුටු සුගතදාස මහතා, අපේ රටට සුවිශාල සේවයක් කල චරිතයක්. එතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශිෂ්ට කැපවීමක් කල නායකයෙක්. ඒ සේවය අමතක නොවන සේවයක්. 1956 දී එන්.එම්. පෙරේරා පරාජය කරලා, සුගතදාස මහතා පුරපති ධුරයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂය අවදි කළා. ඒ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ නව පෙරළියක් ඇතිකළ සංධිස්ථානයක් කියලා කියන්න පුළුවන්. එතැන් පටන් අමාත්‍ය ධුර කිහිපයක් හෙබවූ සුගතදාස මහතාගේ එම සේවය සිහිගන්වනු වස්, සුගතදාස ක්‍රීඩාංගණය ස්ථාපිත කළා. ඒ වගේම කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයත් එතුමාගේ විශිෂ්ට සේවයක්. ඒ වගේම උතුරු කොළඹ කියන්නේ වාමාංශික ආසනයක්. සුගතදාස මැතිතුමා විසින් සිදුකළ විශේෂ පෙරළියක් නිසා අද උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. සුගතදාස මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම සියලුම ආගම් වලටද විශේෂ සේවයක් සිදුකළ පුද්ගලයෙක්. එතුමාගේ පුද්ගලික වියදමෙන් නිවාස නොමැති පිරිස් වෙත නිවාස ලබාදෙන්න කටයුතු කළා. සුගතදාස මහතාගේ සංකල්පය වූයේ ජනතාව සමඟ ගමන් කිරීමයි. ඒ උදාර සංකල්පය ආදර්ශයට ගනිමින් අද අපිත් ජනතාව සමග ගමන් කරනවා.

එදා සුගතදාස මැතිතුමා 1965 දී ආණ්ඩුවක් ඇති කරන්න විලියම් ගොපල්ලව මහතාට ඇතිකර දුන් වාතාවරණය වගේම, 2019 අග වෙද්දි ජනාධිපතිවරණය තුළින් එවැනිම ශක්තිමත් ආණ්ඩුවක් සෑදීමට අද අපේ අගමැතිතුමා සහ කරු ජයසූරිය මහතා එකමුතුවී නායකත්වය සපයනවා“ යැයි පැවසීය.

නව අදහස දක්වන්න