මත්ලෝලී දරුවන් හොඳ ළමයින් කිරීම! | දිනමිණ

මත්ලෝලී දරුවන් හොඳ ළමයින් කිරීම!

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අලුත්ම සංඛ්‍යා -දත්ත පෙළක් නිකුත් වී ඇත. මේ සංඛ්‍යා -දත්ත හෙළිදරව් කරගෙන ඇත්තේ; මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ජනාධිපති කාර්ය සාධක මණ්ඩලයේ සමීක්ෂණයක් ඔස්සේ ය. ඒ අනුව වයස අවුරුදු දහඅට හා ඉන් පහළ දරුවන් එක්ලක්ෂ පහළොස්දහසක් ඉතා තදින් මතට ඇබ්බැහි වී ඇත. එයින් හයදහස් එකසියයක් හෙරොයින්වලට ඇබ්බැහි වී සිටිති. දෛනිකව හෙරොයින් හඹා යන පිරිස එක් ලක්ෂයකට වැඩි බව ද සමීක්ෂණයේ සඳහන් ය. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා බලවත් ප්‍රයත්නයක් දරන්නේ වුව තවම මේ විනාශය තුරන් වී නැති බව ඉහත සාධකවලින් පෙනී යයි.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වැදගත් වන ප්‍රධාන උපාය - මාර්ග හතරක් ඇති බව කියති. පළමුවන උපාය මාර්ගය වන්නේ භාවිතය හා ජාවාරම පිළිබඳ නිවැරැදි තොරතුරු හා දත්ත ලබාගැනීම ය. දෙවන උපාය - මාර්ගය වන්නේ සාර්ථක වැටලීම් සිදුකිරීම ය. තෙවන උපාය - මාර්ගය වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ය. හතරවන උපාය - මාර්ගය වන්නේ පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ය. මීට පෙර ද මතට එරෙහි වැඩසටහන් ක්‍රියාත්මක විය. එහෙත් ඒවා සාර්ථක වූයේ නැත. හේතුව අදාළ වැඩසටහන් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක නොවීම යැයි සිතන්නට පුළුවන. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මත්ද්‍රව්‍ය උවදුර වැළැක්විය නො හැකි ය.

රටේ බාලවයස්කාරයන්ගෙන් එක්ලක්ෂ ගණනක් ඉතා තදින් මතට ඇබ්බැහි වී සිටිත් නම්; එය ඉතා භයානක තත්ත්වයකි. තදින් ම මතට ඇබ්බැහි වූ කෙනකු ඉන් මුදාගැනීම ඉතා අපහසු ය. මරණය පෙනි - පෙනී හෝ කුඩු ස්වල්පයක් උරාබීමට ඔව්හු ආශක්ත වෙති. මෙබදු අය එක්කෝ කෙසේ හෝ කුඩු සොයා ගනිති. නැතහොත් සිය දිවි නසා ගනිති. මෙය බරපතළ ඛේදවාචකයකි. මෙවැනි තත්ත්වයක පසුවන තැනැත්තකු බේරාගත හැකි ක්‍රමවේදය ඇත්තේ පුනරුත්ථාපනය තුළය. මතට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය සඳහා වෙන ම ආයතනයක් පිහිටුවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත. මීට අදාළ මූලික කටයුතු මේ වනවිටත් අවසන් ය. මතට ලොල් දරුවන් ඇති මාපියන් බෙහෙවින් සතුටට පත්වනු ඇත.

කුඩුකාරයකු ඇති කුටුම්භය අවුල් ජාලයකින් පිරී ඇත. එහි විශේෂත්වය වන්නේ කුඩු ලෝලියාටත් වඩා පවුලේ සෙසු සාමාජිකයන් බලවත් පීඩාවකට පත්වීම ය. කුඩු ලෝලියාගේ උත්සාහය වන්නේ දිනපතාම කෙසේ හෝ කුඩු මාත්‍රාව ලබාගැනීම ය. ඒ සඳහා ඕනෑම අශීලාචාර දෙයක් සිදුකිරීමට ඔව්හු පෙලඹෙති. කුඩුකාරයා ළඟ සදාචාරයක් නැත. ලැජ්ජාවක් - බියක් නැත. සමහර කුඩුකාරයෝ ගෙදර ඇති සියල්ල විකුණා කුඩු උරති. තව සමහර කුඩුකාර‍යෝ හොරකම් කරති. තවත් සමහර කුඩුකාරයෝ මාපිය දෙපළට පහර දෙති. පහර දී කුඩු සඳහා මුදල් ඉල්ලා සිටිති. කුඩුකාරයන් ඇති පවුල පමණක් නොව; පවුල නියෝජනය කරන ප්‍රදේශය ද විවිධ කරදරවල පැටලෙයි. මත්ද්‍රව්‍ය මුළුමහත් සමාජයටම ශාපයක් වන්නේ ඒ අනුව ය. කෙනකුගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ සමාජ ගැටලුව මත්ද්‍රව්‍ය රකුසා ය.

ලෝකය බරපතළ අර්බුදයක් කරා ගෙන ගිය ජාවාරම් ගණනාවක් තිබේ. අවි ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම හා ඖෂධ ජාවාරම ඒ අතර ප්‍රධාන වෙයි. මේ ජාවාරම් තුන එකිනෙකට සම්බන්ධ වන අතර ත්‍රස්තවාදය හා වෙනත් අපරාධ ද ඊට ගැට ගැසී ඇත. මීට අදාළ ක්‍රියාදාම කෙතරම් බලවත් ද යත්; ඇතැම් රටවල දේශපාලනය හසුරවන්නේ කුඩු ජාවාරමේ ප්‍රධානීන් ය. ඒ සඳහා අවශ්‍ය තරම් මුදල් යෙදවීමට කුඩු ජාවාරම්කාරයෝ සමත් වෙති. අන්තර්ජාතික වශයෙන් ඔවුන් සතු සම්බන්ධතා ජාලය ඉතා ශක්තිමත් ය. මේ පසුබිම තුළ මත්ද්‍රව්‍යවලට එරෙහි ව ක්‍රියාකිරීම බලවත් අභියෝගයකි. රාජ්‍ය පාලකයන්ට පවා එම අභියෝගය ඔරොත්තු දෙන්නේ නැති බව ලෝක අත්දැකීම්වලින් පෙනී යයි. මෙබඳු පසුබිමක් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මතට එරෙහි ව ගෙනයන බලවත් සටන කාගේත් අවධානයට ලක් වී ඇත. විදේශීය රාජ්‍ය නායකයන් කිහිප දෙනකුම ජනාධිපතිවරයාගේ නොපසුබට උත්සාහය අගය කර තිබේ.

ගෙවී ගිය කෙටි කාලය තුළ දී මත්ද්‍රව්‍ය වැරැදිවලට සම්බන්ධ චුදිතයන් හතළිස්දහස් අටසිය හතළිස්හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෝ ද මේ අතර සිටිති. ජනාධිපතිවරයා මේ කෙරෙහි නිරන්තර අවධානයකින් පසුවන නිසා බලවත් ජාවාරම්කරුවන්ට පවා නීතියේ රැහැනින් ගැලවී යෑමට ඉඩක් ලැබී නැත. මත්ද්‍රව්‍ය උදුර වැළැක්වීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් මීට පෙර පැවැති විවේචනයක් වූයේ ‍තෝරු - මෝරු අතහැර හාල්මැස්සන් පමණක් දැලට හසුකර ගනී යන්න ය. අද එවැනි විවේචනයකට හෝ චෝදනාවකට හෝ ඉඩක් නැත. මීට අදාළ කදිම නිදසුන වන්නේ ජාත්‍යන්තර කුඩු මාෆියාවට සම්බන්ධ මාකඳුරේ මධුෂ් නම්‍; චුදිතයා ඩුබායිහි සිට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන සිරගත කර සිටීම ය. කෙනකුගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ කුඩු ජාවාරමෙහි ප්‍රධානියා ඔහු ය.

ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ තවත් වැදගත් තීන්දු - තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බව ප්‍රකාශයට පත් වී ඇත. ඉන් එක තීරණයක් වන්නේ සුරාබදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගැනීම ය. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්පාදනය වී ඇති බවද; නුදුරු දිනක දී එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කැරෙන බවද දැනගන්නට ඇත. සුරා බදු පනත වෙනස් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ගණනාවක් ලබාගත හැකිය. පළමුවන්න නීති - විරෝධී මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධයෙන් ඇති දඬුවම් දැඩි කිරීමට අවස්ථාක් ලැබීම ය. ශ්‍රී ලංකාවේ හොර මත්පැන් නිෂ්පාදනය ජයටම සිදුවෙයි. දඬුවම් ලිහිල්වීම ඊට එක හේතුවක් ලෙස දැක්විය හැකි ය. මහජනයා අපේක්ෂා කරන ශීලාචාර සමාජය ගොඩනැඟීමට නම්; සුරාපානය ද සීමා කළ යුතුය. මතට එරෙහි ව ගනු ලබන ඕනෑම පියවරක් සැලැකිය හැක්කේ යහපතක් ලෙසම ය.

 

නව අදහස දක්වන්න