මාස හතක් පුහුණුවූ ශ්‍රී ලංකා පිලේ මියන්මාර් ගමන කොට උඩ | දිනමිණ

මාස හතක් පුහුණුවූ ශ්‍රී ලංකා පිලේ මියන්මාර් ගමන කොට උඩ

ප්‍රින්ස් ගුණසේකර

මියන්මාරයේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට එම ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලිය අහිමිවීමේ අවධානමක් මතුව තිබේ. ගුවන් ප්‍රවේශපත්‍ර ඇතුළු සංචාරයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිවීමෙන් මේ තත්ත්වය උදාවී ඇත. මෙයට මාස 7කට පමණ පෙර පුහුණවීම් ආරම්භ කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම සංචාරයට අවශ්‍ය ඇඳුම් හා සපත්තු ඇතුළු අවශ්‍යතා සූදානම්කර ගත්තද, මියන්මාරය බලා යෑමට ගුවන් ප්‍රවේශපත්‍ර හා නවාතැන් පහසුම් ආදියට අවශ්‍ය රුපියල් ලක්ෂ 23ක මුදලක් සොයා ගත යුතුව තිබේ.

මේ මුදල ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ලිපියක් යොමුකර ඇතත්, අවශ්‍ය මුදල් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලබා ගන්නා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාගෙන් උපදෙස් ලැබී ඇත. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුව ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට අවශ්‍ය මුදල් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සුපුරුදු පරිදි ලබාගන්නා ලෙස වොලිබෝල් සම්මේලනයට පවසා ඇත.

මෙතෙක් සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර සංචාරවලදී ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් ප්‍රතිපාදන ලබාදී ඇතත් මෙවර ජාතික ඔලිම්පික් කමිටුවෙන් මුදල් ඉල්ලා ගන්නා ලෙස පැවැසීමෙන් ලිපිය ඔලිම්පික් කමිටු ලේකම්වරයා වෙත යොමු කළ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවැසීය. මේ සංචාරය පසුගිය වසරේදී ක්‍රීඩා අමාත්‍යාංශය අනුමත කොට වාර්ෂික කැලැන්ඩරයට ද ඇතුළත් කළ එකක් බව වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා පැවැසීය.

ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර මතුව ඇති මතභේදයක් හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණයවී ඇතැයි සඳහන් වේ. ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි සකස් කිරීමේදී හා ජාතික ඔලිම්පික් කමිටුවේ විගණන කටයුතු සම්බන්ධව පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශය හා ඔලිම්පික් කමිටුව අතර මතභේද හටගෙන තිබිණි. මේ තත්ත්වය හේතුවෙන් ඔලිම්පික් සංගමයට අයත් ක්‍රීඩා සංගම්වල කටයුතු එම සංගමයේ මැදිහත්වීමෙන් කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍යාංශය පවසා තිබිණි.

මේ වසරේ පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීකරවන ශ්‍රී ලංකා වොලිබෝල් පිල නම් කිරීමේදී ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම කණ්ඩායම දක්වන දක්ෂතා වැදගත්වන බැවින් මේ සංචාරය ඉතා වැදගත් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතාගේ අදහසවී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා හා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාගෙන් මේ පිළිබඳ වීමසීමට උත්සහා කළද එම දෙදෙනාම එංගලන්තය බලා පිටත්ව ගොස් ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ‘දිනමිණ’ ට පැවැසීය. මියන්මාරයේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවලිය ලබන මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ සංචාරයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12ක්, පුහුණු කාර්ය මණ්ඩලයේ 3ක් ඇතුළු 17කගෙන් සමන්විත පිරිසක් සහභාගීවීමට නියමිතය.

නව අදහස දක්වන්න