වෙළෙඳ සේවා වොලිබෝල් ජයග්‍රාහකයන්ට රු. මිලියනයකට වැඩි තෑගි මුදල් | දිනමිණ

වෙළෙඳ සේවා වොලිබෝල් ජයග්‍රාහකයන්ට රු. මිලියනයකට වැඩි තෑගි මුදල්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට ශක්තියක් සැපයීමේ අරමුණින් හා වෙළෙඳ සේවා අතර සහයෝගීතාව වැඩිකර ගැනීමේ අරමුණින් වෙළඳ සේවා වොලිබෝල් සංගමය සංවිධාන කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයකට වැඩි තෑගි මුදල් පිරිනැමීමට මෙවර කටයුතු සංවිධාන වෙයි.

එළඹෙන සැප්තැම්බර් මස 7 හා 8 යන දිනවල මූලික වටයේ තරග මහරගම තරුණ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරග නොවැම්බර් 2 හා 3 දිනවල මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සුපර් ලීග්, ශූරතා කුසලාන හා ‘ඒ’ කොටස ලෙස පිරිමි - කාන්තා තරග සංවිධානවී ඇති අතර සුපර් ලීග් පිරිමි ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ 1.5ක් හා අනුශූරයන්ට රුපියල් ලක්ෂයක් පිරිනැමේ. එහි තෙවැනි ස්ථානයට රුපියල් 50000ක මුදල්ක් පිරිනැමේ. සුපර් ලීග් ශූරියන්ට රුපියල් ලක්ෂයක් හා අනුශූරතාවට රුපියල් 50000ක් පිරිනැමෙන අතර තෙවැනි ස්ථානයට රුපියල් 25000ක මුදලක් හිමිවේ.

ශූරතා කුසලාන පිරිමි පළමු ස්ථානයට රුපියල් ලක්ෂයක්, දෙවැනි ස්ථානයට රුපියල් 50000ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 25000ක මුදලක්, ශූරතා කුසලාන කාන්තා පළමු ස්ථානයට රුපියල් 80000ක්, දෙවැනි ස්ථානයට රුපියල් 40000ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 25000ක මුදලක් පිරිනැමේ. ‘ඒ’ කොටසේ පිරිමි හා කාන්තා ජයග්‍රාහී කණ්ඩායම්වලට රුපියල් 30000 බැගින්, දෙවැනි ස්ථානයට රුපියල් 20000ක් බැගින් හා තෙවැනි ස්ථානයට රුපියල් 10000ක් බැගින් මුදල් ත්‍යාග වෙන්කොට ඇත.

හොඳම ක්‍රීඩකයාට වටිනා යතුරුපැදියක් හා හොඳම ක්‍රීඩිකාවට ස්කූටරයක් පිරිනැමෙන අතර වාසනාවන්ත නායකයා හා හොඳම පුහුණුකරුටද සම්මාන පිරිනැමීම විශේෂත්වයකි. ජාතික ක්‍රීඩාව වර්ණවත් කළ ප්‍රවීණයන් කිහිපදෙනකුට උපහාර පිරිනැමීමක්ද සිදුවේ. පසුගිය වසරේ මෙන්ම මෙවරද කණ්ඩායම් 100කට අධික පිරිසක් සහභාගීවනු ඇතැයි වෙළෙද සේවා වොලිබෝල් සංගමය අපේක්ෂා කරයි.

තරගාවලියේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස මාස් හෝලඩිං ආයතනය කටයුතු කරන අතර, රන් අනුග්‍රහය සන්ක්වික්, ලංකා ටයිල්ස්, එක්ස්පෝ ලංකා, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි හා බ්‍රැන්ඩික්ස් ලංකා, විසින්ද රිදී අනුග්‍රහය ඔමේගා ලයින් හා ඕෂින් ලංකා ආයතන ලබාදී ඇත.

අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය ලබන අගෝස්තු 15වන දිනය වන අතර 0710 682 682 (චන්දන) හෝ 0776485456 (බුද්ධි) අමතා වැඩි විස්තර ලබාගත හැක. www.mva.lk වෙත පිවිසීමෙන් හෝ [email protected] ඊමේල් මගින් තොරතුරු ලබාගත හැකිය. අයැදුම්පත් වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය, අංක 33,ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට ඉදිරිපත් කළ යුතුවේ.


නව අදහස දක්වන්න