වැව් ගම් පුබුදුවේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දෙන්න | දිනමිණ

වැව් ගම් පුබුදුවේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දෙන්න

දිස්ත්‍රික්ක 7ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව් ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපයේ එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතාගේ සංකල්පයක් වූ වැව් ගම් පුබුදුව ක්‍රියාවට නැංවෙන්නේ හරිත දේශගුණික අරමුදලේ රුපියල් මිලියන 3682ක හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 1250ක වියදමිනි. 2015 නොවැම්බර් මස ප්‍රංශයේ පැරිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට එළැඹීමෙන් පසු එම ගිවිසුමේ මූලික අරමුණක් වූ දේශගුණික විපර්යාසවල අනිසි

බලපෑම්වලට මුහුණ දීම සඳහා මුල්‍ය පහසුකම් සැලසීම යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මේ සඳහා මුදල් හරිත දේශගුණික අරමුදල යටතේ ශ්‍රී ලංකාවට ලැබිණි.

මේ ව්‍යාපෘතිය පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය හා මන්නාරම යන දිස්ත්‍රික්ක 7ක මල්වතුඔය, මී ඔය හා යාන් ඔය යන ගංඟා ද්‍රෝණි 3ක් ආශ්‍රීතව ක්‍රියාවට නැංවේ.

එල්ලංගා පද්ධති 16ක ග්‍රාමීය වැව් 325ක් හා පරිසර පද්ධති 75ක් ප්‍රතිස්ථාපනය කෙරෙන අතර, දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය යටතේ ග්‍රාමීය වැව් 325ක් ආශ්‍රිතව හෙක්ටයාර 9750ක වී ගොවිතැන වැඩි දියුණු කිරීම, සුළු පරිමාණ ගොවීන් 520,000කට කෘෂි කාලගුණික උපදෙස් ලබාදීම හා ගොවි කාන්තාවන් 16,677ක් දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තයට යොමු කිරීමට සැලසුම් කර ඇත.

මින් වැව් 140ක සංවර්ධන කටයුතු මේ වන විට නිම වී තිබෙන අතර මෙම අගෝස්තු මාසයේ දී ඒවා ජනතා අයිතියට පවරාදීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

එම වැව් ආශ්‍රිත ගම්මානවල ජනතාවට පිරිසුදු පානීය ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ද මේ හා සමඟාමීව ක්‍රියාත්මක කෙරෙන අතර ඒ වෙනුවෙන් හරිත දේශගුණික අරමුදල රුපියල් මිලියන 1732ක් ආයෝජනය කර ඇති අතර, ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 1069කි.

නව ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදනය යෝජනා ක්‍රම 35ක් ස්ථාපනය, වැසි ජල රැස් කිරීමේ පද්ධති 4000ක් ස්ථාපනය, නව ජල පවිත්‍රකරණ පද්ධති ස්ථාපිත කිරීම සහ පාසල් හා ග්‍රාමීය රෝහල් සඳහා නව පවිත්‍රාගාර ඉදිකිරීම ඒ යටතේ සිදු වෙයි.

ව්‍යාපෘතිය මගින් අදාළ කලාපවල වෙසෙන නිරන්තරයෙන් ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත්වලට ගොදුරුවන අඩු ආදායම්ලාභී පහළොස් ලක්ෂයක් පමණ වන ගොවි පවුල්වල ජීවනෝපාය සංවර්ධනය සඳහා අතදීම ද සිදු කෙරේ. ස්වයංක්‍රිය කාලගුණික සහ ජල මාපක පද්ධති ස්ථාපනය, කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම, ජල කළමනාකරණ සහ කෘෂිකාර්මික උපදේශන සකස් කිරීම සහ ලබාදීම, ගංවතුර ආපදාවට ලක්වන ප්‍රදේශවල ආපදා පෙර සූදානම් සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ඒ යටතේ සිදු වෙයි.

නව අදහස දක්වන්න