ගෝඨාභය සේනාධිපති අධිකරණයට ගේන්න | දිනමිණ

ගෝඨාභය සේනාධිපති අධිකරණයට ගේන්න

අදාළ නීතිඥයන්ට නියෝග

පාවෙන අවි ගබඩාවක්‌ පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක්‌ සිදු කිරීම සම්බන්ධ අල්ලස් නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඇවන්ගාඩි හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති යන අය ලබන සැප්තැම්බර් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (11) ඔවුන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන්ට නියෝග කළාය.

පළමු විත්තිකරු වන ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට සිංගප්පුරුව රෝහලේ හදවත් සැත්කමකට ලක් කර වෛද්‍ය උපදෙස් අනුව සිටින බවත්, නඩුවේ හයවන සැකකරු වන නිශ්ශංක සේනාධිපති දැනට සිංගප්පුරුව රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවත් ඔවුන්ගේ නීතිඥවරු වෛද්‍ය වාර්තා සමඟින් අධිකරණයට කළ සැලකිරීම් සළකා මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

මෙම නඩුව කැඳවීම් නඩුවක් බවත්, අධිකරණයට නිසි දැනුම් දීම් කොට විත්තිකරුවන් විදේශගතව ඇති බවත් ඉදිරි දින අදාළ කරුණු තහවුරු කර විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම ගත යුතු බව මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නාය.

මෙහිදි තුන්වන සැකකරු වන පියසිරි ප්‍රනාන්දු මහතා ගාල්ල නඩු බී 44146/18 යටතේ ක්ෂිතබන්ධනාගාරගත කර ඇති බවත් ඔහු දැනට ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වමින් ඉදිරි දින විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධ වගකීම බාර ගත්තේය.

සෙසු විත්තිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත්ව සිටි අතර නඩුව යළි කැඳවීම ලබන සැප්තැම්බර් 20වෙනි දිනට කල් තැබිණි.

මෙම නඩුවට අදාළ ප්‍රතිසංශෝධන අයදුම්පතක් මේ වනවිට අභියාචනාධිකරණයේ ගොනුකර ඇති බැවින් එහි නියෝගය ලැබෙන තෙක් මෙම නඩුව කල් තබා ඇත.

මේ වනවිට මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිය නඩුව ආරම්භයේ දී ගොනුකළ මූලික විරෝධතාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම නියෝගවලට අදාළ ප්‍රතිශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධ නඩුවේ එක් සැකකාරියක වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඇය විදේශගත වී සිටී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංඛ සේනාධිපති, හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයන්ත කොළඹගේ, ජයන්ත පේරේරා සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු හා හිටපු විශ්‍රාමික මේජර් ජනරාල් බණ්ඩා අධිකාරි යන සැකකරුවන් මෙම නඩුවේ සෙසු විත්තිකරුවෝ වෙති.

නඩුව යළි සැප්තැම්බර් 20වන දින කැඳවීමට නියමිතය.

සිරන්ජනී කුමාරි, අමෝදා ජයමහ


නව අදහස දක්වන්න