සහරාන්ගේ ක්‍රියා ගැන දැනුවත්ව සිටියා නම් සුදන්ත හිමි නීතිපති උපදෙස් ලබා නොගත්තේ මන්දැයි විමසයි | දිනමිණ

සහරාන්ගේ ක්‍රියා ගැන දැනුවත්ව සිටියා නම් සුදන්ත හිමි නීතිපති උපදෙස් ලබා නොගත්තේ මන්දැයි විමසයි

කමනී අල්විස්

වසර 2017 සහ 2018 කාල වකවානු‍වල සිදුකළ විමර්ශනයන්ගෙන් සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායමේ අන්තවාදී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබුණේ නම් අදාළ කරුණු පිළිබඳ උදෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපති උපදෙස් ලබාගැනීමට මාගල්කන්දේ සුදත්ත හිමි කටයුතු නොකළේ මන්දැයි විමසීමට සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පැවසුවේ පෙරේදා (10) රාත්‍රී එක්තරා විද්‍යුත් නාලිකාවක ප්‍රවෘත්ති විකාශනය ඔස්සේ අගවිනිසුරුවරයා සහ නීතිපතිවරයා පාස්කු දින සිදුවුන බෝම්බ ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත යුතු බවට සිදුකර තිබෙන බරපතළ අසත්‍ය ප්‍රකාශය පිළිබඳ කරුණු සඳහන් කරමින්ය.

වසර 2017 ජූනි 7දා ස්වාමින්වහන්සේ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ EER/08/2017 දරන ගොනුවේ පිටු තුන්සීයක් තිබුණ බවට සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසන රජ‍ෙය් අධිනීතිඥවරිය එහි තිබුණේ ත්‍රස්තවාදී විමර්ශන අධ්‍යක්ෂගේ වාර්තාවක් සහ ඡායා පිටපත් කිහිපයක් පමණක් බව සඳහන් කළාය. විමර්ශනයට අදාළ කිසිම උදෘතයක් එහි අඩංගුව තිබුණේ නැති බවත් අවධාරණය කරමින් රජයේ අධිනීතිඥවරිය තවදුරටත් මෙසේද පැවසුවාය.

විමර්ශනයට අදාළ කිසිම උදෘතයක් එහි අඩංගු වූයේ නැත. එම නිසා ලේඛන පදනම් කරගෙන කිසිම නෛතික උපදෙසක් ලබාදීමට නීතිපතිවරයාට හැකියාවක් නොතිබුණි. 2017 වසරේ ජූනි හත්වැනිදා නීතිපතිවරයාට ඉදිරිපත් කළ ගොනුවේ නීතිපතිට උපදෙස් දීමට ප්‍රමාණවත් කිසිඳු කාරණාවක් හෝ නෛතික ගැටලුවක් එහි අන්තර්ගතව නොතිබුණ බව ස්ථිරසාරව ප්‍රකාශ කළ හැකිය.

නීති උපදෙස් ලබාදීමට හැකි පිටු දෙසීයකින් හෙබි විමර්ශන ගොනුව උන්වහන්සේ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ බෝම්බ පිපිරීම සිදුවීමෙන් පසු මැයි මස 6 වැනිදාය. එනම් බෝම්බ පිපිරී සති දෙකක් ගතවුණ පසුවයි.

ජාතික තව්හිද් ජමාත් (NTJ) අන්තවාදී සංවිධානය හා පිරිස පිළිබඳ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම සහ සැකකරුවන්ට එරෙහිව විවෘත වරෙන්තු ලබාගැනීම සහ නඩුවේ ප්‍රගතිය යනාදී කරුණු පවා වසර 2019 මැයි 6දා තෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු නොකිරීම ගැටලුසහගතය. මේ පිළිබඳව ඉකුත් ජූනි දහඅටවැනිදා ලිපියක් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමුකර ඇත.

මෙම සියලු කාරණා පිළිබඳ ජනාධිපතිවරයා විසින් බෝම්බ ප්‍රහාර සිදුවීම පිළිබඳව පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය වෙත නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබීය. එහි අවසන් වාර්තාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය පිළිගෙන ඇත. අදාළ විමර්ශන නිලධාරීන්ගෙන් සිදුවී ඇති රාජකාරිමය පැහැර හැරීම පිළිබඳ පැහැදිලි නිර්දේශ හා නිරීක්ෂණයක් ඇතුළත්ව තිබේ.

තවද වැඩබලන පොලිස්පතිවරයා වෙතට ලිඛිත දැනුම්දීම් සිදුකරමින් අන්තවාදී සංවිධානය හා පිරිස් පිළිබඳව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨා‍සය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයන්ගේ වර්තමාන තත්ත්වය නොපමාව වාර්තා කරන ලෙසට දැනුම් දී තිබේ.

එම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙතට ඉදිරිපත් කර ඇත.

ඉහත සඳහන් කාරණා සළකා බැලීමේදී මාගල්කන්දේ සුදත්ත හිමි විසින් පෙරේදා රාත්‍රී විද්‍යුත් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශය අසත්‍ය, පදනම් විරහිත සාවද්‍ය බවට මනාව පැහැදිලි වන බවත් රජයේ අධිනීතිඥවරිය අවධාරණය කළාය.

නව අදහස දක්වන්න