කොළඹ හතේ ගමේ වෙළෙඳපොළ Village business festival | දිනමිණ

කොළඹ හතේ ගමේ වෙළෙඳපොළ Village business festival

COEXIST හා සර්වෝදය සභාපති චන්න ද සිල්වා

අලුතෙන් සිතන්නට, අලුත් දෑ තනන්නට දස්කම් සපිරි බොහෝ පිරිස් සමාජය තුළ ජීවත් වෙති. ඔවුන්ට සිය නිර්මාණ ශක්තිය ආදායම් මාර්ගයක් බවට පත් කරගන්නට උපකාර කළ හැකි ආයතන සහ පිරිස් නොමැතිවීම නිසා බොහෝ විට හැකියාවන් සහ නිර්මාණ සඟවාගෙන ජීවත්වීමට සිදුවීම කනගාටුදායකය. එවන් නිර්මාණකරුවන්ගේ ජීවන තත්ත්වය නංවන්නට සර්වෝදය අනුබද්ධ COEXIST පදනමෙන් ඉහළ දායකත්වයක් හිමිවේ. ඒ පිළිබඳව අදහස් දක්වන COEXIST සහ සර්වෝදය සභාපති චන්න ද සිල්වා මහතා.

“අප පදනම මගින් නිරන්තරයෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා වැඩසටහන් සංවිධානය කරනවා. එහි නවතම වැඩසටහන ලෙස මේ මස 20 වනදා දවස පුරා කොළඹ ග්‍රීන්පාත් හි පැවැත්වෙන Village business festival හඳුන්වන්නට පුළුවන්. මේ සැණකෙළිය තුළින් රට පුරා විසිරී සිටින විශේෂයෙන්ම ඉවතලන දේ සහ ප්‍රයෝජනයට ගතහැකි පහසුවෙන් සපයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතයෙන් නව නිර්මාණ කරන සියයක පමණ පිරිසකට ඔවුන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීමට සහ ඔවුන්ට වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එපමණක් නොවෙයි ඔවුන් ආදර්ශයට ගෙන තව තවත් පිරිස් මෙවැනි නිර්මාණ කිරීම කෙරෙහි උද්දීපනය කිරීමත් මෙහි අරමුණක් වෙනවා. ඒ ඇසුරින් සමාජය තුළ ගුණාත්මක ආකල්පමය සංවර්ධනයක් සහ තිරසාර දැක්මක් ඇතිවනවා. පරිසරය වෙත බැහැර කරන පොලිතින් ප්ලාස්ටික් වැනි දේ මගින් නව නිර්මාණ බිහිවීම තුළින් පරිසර ආරක්ෂණ ක්‍රියාවලියක් ද සිදු‍වනවා.”

මෙම සැණකෙළිය තුළ යෝග ව්‍යායාම, මානසික සංවර්ධන ක්‍රියාකාරකම් ඇතුළු සංස්කෘතිකාංග රාශියක්ද අන්තර්ගතව තිබේ. ඒ තුළින් මානසික ආතතිය දුරු කරගනිමින් ජීවිතය සුව පහසු කර ගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදහස් කරයි. මෙම සැණකෙළිය සඳහා සිය නිෂ්පාදන ඉදිරිපත් කරන පිරිස් සඳහා ප්‍රවාහන පහසුකම්, නවාතැන් සහ ආහාරපාන ද නොමිලේ සපයා දෙන්නට COEXIST පදනම සූදානමින් සිටී. තවදුරටත් අදහස් දැක් වූ චන්න ද සිල්වා මහතා “පසුගිය වසරේ වට්ටක්කා මිල රුපියල් දෙක දක්වා පහළ ගිය අවස්ථාවේ අපි එම ගොවියන් දිරිමත් කරන්නට මෙවැනිම සැණකෙළියක් පැවැත්වූවා. ගොවියන් සොයා ගොස් ඔවුන් සතු වට්ටක්කා අස්වැන්න එකතුකර කොළඹ ගෙනවිත් ඔවුන්ට එම අස්වැන්න අලෙවි කර ගන්නට අවස්ථාව සලසා දුන්නා. ඒ තුළින් සමාජය තුළ වට්ටක්කා ගොවියන් පිළිබඳ සං‍වේදී බවක් ඇති කළා සේම ඇතැම් හෝටල් සතියක් වට්ටක්කා සතිය ලෙස නම්කර ඔවුන්ගේ ආහාර පාන සඳහා වට්ටක්කා යොදා නව අත්හදා බැලීම් පවා සිදු කළා. අවසානයේ රුපියල් 2ට තිබූ වට්ටක්කා කිලෝවක මිල රුපියල් 24 දක්වා වැඩි අගයක් බවට පත් කර ගොවියා වෙත ලබා දෙන්නට අපට හැකියාව ලැබුණා. ඉදිරි වසරවලත් මෙම සැණකෙළිය සංවිධානය කරන්නට අපි අපේක්ෂා කරනවා.”

Village business festival සැණකෙළිය සඳහා සහභාගීවන නව නිර්මාණකරුවන් වෙනුවෙන් ඉදිරියේදී දෙදින ව්‍යවසායකත්ව පුහුණු වැඩමුළුවක්ද සංවිධානය කර තිබේ. ස්ලිම් ආයතනය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග එකට අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සියලු පහසුකම් සහිතව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර නව ව්‍යවසායකයින් වෙත ණය පහසුකම් ලබා දීමටද COEXIST පදනම පියවර ගනු ලබයි. මේ වන විටත් Village business festival සමග සම්බන්ධ වී නැති නව නිර්මාණකරුවන් සඳහා තවදුරටත් එහි ඉඩකඩ තිබේ. 0773137726 - සයුරි ඇමතීමෙන් ඔබටත් Village business festival සමග සම්බන්ධ විය හැක.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න