රටට හරියන කෙනා අපෙන් දානවා | දිනමිණ

රටට හරියන කෙනා අපෙන් දානවා

දුමින්ද සම්පත්
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ඇක්සා, සෝෆා ගිවිසුම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන විරෝධතාව, ඉඩම් පනත අවශ්‍ය කුමකටද යන්න සහ ඊට එල්ල වී තිබෙන විරෝධතාව, ඉදිරි මැතිවරණ සහ ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ආදිය පිළිබඳ සාකච්ඡාවකට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මෙසේ එක්වෙයි.

* මිනිස්සුන්ට ඉඩම් දුන්නම අමෙරිකාවට විකුණනවද? 
* පිස්සො මාධ්‍ය අල්ලගෙන බොරු ප්‍රචාර කරනවා 
* ඇක්සා සමහර ‍කොන්දේසිවලට ආණ්ඩුව එකඟ නැහැ 
* සෝෆා ගිවිසුම අස්සන් කරල නැහැ 
* අමෙරිකන් නැව්වලට ලංකාවට එන්න අවසර දුන්නෙ ගෝඨාභය 
* නිර්පාක්ෂික අපේක්ෂක‍ෙයා මේ සැරේ නැහැ

ඇක්සා ගිවිසුම අත්සන් කරල, සෝෆා ගිවිසුම අත්සන්කරන්න නියමිතයි. මේ ගිවිසුම හරහා අමෙරිකාවට රට පාවාදෙන බවට චෝදනා නැගෙනවා?

සෝෆා ගිවිසුම ගැන කතිකාවක් විතරයි තියෙන්නෙ. කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලැබිලත් නැහැ. සෝෆා ගිවිසුමක් අත්සන් කරලත් නැහැ. දේශපාලන බලය ගන්න විපක්ෂයේ දේශපාලනඥයො දෙන්නෙක් හැමදාම ඔය බොරුව මතුරනවා.

ඇක්සා ගිවිසුම ගැන මොකද කියන්නෙ?

ඔය ගිවිසුම ගෝඨාභය රාජපක්ෂ මහත්තය ආරක්ෂක ලේකම් කාලෙ අත්සන් කළේ. දැන් කරන්නෙ ඒ ගිවිසුම අලුත්කිරීම විතරයි. ඒ ගිවිසුමේ සමහර කොන්දේසිවලට අපේ ආණ්ඩුව එකඟ නැහැ. ගෝඨාභය මහත්තයල ඒ කාලෙ රට අමෙරිකාවට වික්කා. ඒ හින්ද තමයි රාජපක්ෂ පවුලට අමෙරිකාවෙ පුරවැසිභාවය හම්බවුණේ. දැන් අපිට ‍චෝදනා කරනවා.

සින්නක්කර ඉඩම් අයිතිය ජනතාවට දෙන බව පවසමින්, රටට නොගැලපෙන ඉඩම් විශේෂ විධිවිධාන පනතක් ගේන්න ආණ්ඩුව සූදානම්වන බවක් කියනවා?

අවුරුදු 10ක් රජයේ ඉඩමක කවුරුහරි පදිංචිවෙලා ඉන්නවනම්, ඒ ඉඩමෙ අයිතිය ඔවුන්ට දෙන්න, පහුගිය මැතිවරණයේදී අපි පො‍රොන්දු වුණා. මේ ගැන චෝදනා කරන අය කියන්නෙ ඉඩමෙ අයිතිය ගත්තම ඒ අය ඉඩම විකුණයි කියල.

නැහැ. ඊට වැඩි චෝදනාවක් තියෙනවා. අමෙරිකානු ආර්ථික තීරයට අ වශ්‍ය ඉඩම් සපයාදෙන්නයි මේ පනත ගේන්නෙ?

වැලිමඩ මගේ ආසනය. ග්‍රාමසේවා වසම් 64ක් තියෙනවා. ඒවයෙ මිනිහෙකුට සින්නක්කර ඉඩම් අයිතිය දුන්නම ඒ මිනිහ ඒ ඉඩම අමෙරිකාවට විකුණනවාද? මේ අමෙරිකානු භීතියක් හදන්න කියන කතා වීරවංශයි ගම්මන්පිලයි මන්තරේ මතුරනව වගේ ඔය කතා කියනවා. මේ මොකක්ද කියන්නෙ කියල මිනිස්සු දන්නෙත් නැහැ. එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. අමෙරිකාවට ඉඩම් විකුණන්න අපේ ගමේ මිනිහට පුළුවන්ද? මිනිස්සු කීදෙනෙක් ඉඩම් බලපත්‍රය විකුණල තියෙනවද? අවුරුදු 10කට වැඩි පදිංචිකරුවන්ට ඉඩමෙ සින්නක්කර අයිතිය දීම සදාචාරාත්මකයි.

අමෙරිකානු හමුදා ලංකාවට පැමිණීමේ අවදානමක් ගැනත් චෝදනා එල්ල වෙනවා?

සේවා සපයාගන්න ඕනම වෙලාවක අමෙරිකානු නැව්වලට අපේ රටට එන්න අවසර දුන්නෙ ගෝඨාභය මහත්තය අත්සන් කරපු ගිවිසුමෙන්. මේ සැරේ නැව්ගණන වැඩිකරල ඉල්ලල තියෙනවා. එහෙම නැව් ආව කියල හමුදාවට එන්න අවසර දීල නැහැ. මේ භීතියක් මවන්නෙ. අද ගෝඨාභයව ඉල්ලන අයමයි ඔය භීතිය වපුරන්නෙ.

රටේ අනාගතය සහ ආරක්ෂාවේ වගකීම ඉටුකරන්න බැරි ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ජ.වි.පෙ. කියනවා?

අප්‍රේල් 21 සිදුවීමේදී කොතන හරි අඩුපාඩුවක් වුණා. ඒක අපි රජයක් හැටියට පිලිගන්නවා. ඒ වරද කො‍ෙහාමද වුණේ කියල හොයන්න තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කළේ. ඔය කෑගහන පාර්ශ්වය මේ කාරක සභාවට එන්නෙ නැහැ. ඒ අය ගැලරියෙ ඉඳගෙන කෑ ගහනවා. දුන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. මේ තේරීම් කාරක සභාවට ඕන කෙනෙක් ගෙන්වන්න පුළුවන්.

වරදක් වුණ බව පිළිගන්න ගමන්, ප්‍රහාරයෙ වගකීම වෙනත් පාර්ශ්ව පිට පටවන්නයි ආණ්ඩුව මේ සූදානම් වෙන්නෙ කියලයි කියන්නෙ.

තේරීම් කාරක සභාවෙ වාර්තාව ආවම වරද කාගෙද කියල බලාගන්න පුළුවන්. තේරීම් කාරක සභාවට කාවත් නිදොස්කරන්නත් බැහැ කාටවත් දඬුවම් දෙන්නත් බැහැ. මොකක්ද වුණේ කියන එක හොයල බලන එක විතරයි කාරක සභාවෙන් කරන්නෙ. දඬුවම් දෙන එක අධිකරණයෙ වැඩක්. හිටපු පොලිස්පති තුමාවයි. ආරක්ෂක ලේකම් තුමාවයි ඇප පිට නිදහස් කරල උසාවිය මොකද කිව්වේ. දැන් තියෙන්නේ ඇත්ත හොයල බලන්නයි.

ජනාධිපති ධුරකාලය ගැන අහන්න අධිකරණයට යන්නයි හදන්නෙ?

ප්‍රියසාද් ඩෙප් මහත්තය අගවිනිසුරු ඉන්න කාලෙ ධූරකාලය ගැන ජනාධිපති තුමා ඇහුවා. ඒකට පැහැදිලි උත්තරයක් දුන්න. තව දහදෙනෙක්ගෙන් ඇහුවත් උත්තරේ ඒක තමයි. ජනාධිපතිධූරකාලය පටන් ගන්න දවසයි අවසන් දවසයි ගැන තීන්දුවදීල ඉවරයි.

රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න නිර්භීත නායකයෙක් රටට අවශ්‍ය බව කියනවා.

යුගයෙන් යුගය එහෙම නායකයො පහළ වෙනවා. රටට එහෙම නායකත්වයක් අවශ්‍යයි.

ඒ කියන්නෙ දැන් එහෙම නායකයෙක් නැහැ කියලද?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කළේ අපි. අද කෑ ගහන පොහොට්ටුවෙ අයවත් දයාසිරි ජයසේකරලවත්, එතුමට ඡන්දෙ දුන්නෙ නැහැ. එතුම වටේ අද ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ෙය අයවත් ඡන්දෙ දුන්නේ නැහැ. මධ්‍යස්ථ මතධාරීන්, එක්සත් ජාතික පක්ෂයෙ අය, සුළු ජාතික ජනකොටස් තමයි මෛත්‍රීපාල මහත්තයව ජනාධිපති කළේ. යහපාලනය කියන වචනෙ එක්ක බොහොම අමාරුවෙන් තමයි මේ ආණ්ඩුව හැදුවෙ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක ආණ්ඩුවක් අරගෙන යන්න අමාරුයි. ප්‍රතිපත්තිවල, වැඩකරන විදියෙ වෙනස්කම් තියෙනවා. දින 51 ආණ්ඩුව හැදුවෙ ව්‍යවස්ථා විරෝධීව අධිකරණය ඒ ආණ්ඩුව වැරදියි කියල කිව්වා.

ඊළඟ ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට රට ගොඩගන්න පුළුවන්. නිර්භීත අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?

අපිට නායකයෝ ගොඩක් ඉන්නවා. වෙලාව ආවම සුදුසුම කෙනා ගැන කියන්නම්.

නායකයො ගොඩක් ඉන්න නිසා එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති කමට අභ්‍යන්තර බල අරගලයක් නිර්මාණය වෙමින් තිබෙනව නේද?

ඔය විපක්ෂය කියන කතා. තවම නම් එහෙම වෙලා නැහැ. බල අරගල නැත්තෙ කොහෙද? මොන ප්‍රශ්නෙ ආවත් හොඳම කෙනා තමයි අපි දාන්නේ. රටේ ඉල්ලුමට හරියන කෙනා දැම්මොත් තමයි දිනන්න පුළුවන්. නිර්පාක්ෂික අපේක්ෂකයො මේ සැරේ නැහැ.

තමන්ට බලය දෙනවනම් රට ගොඩනඟන හැටි පෙන්වනව කියල සජිත් ප්‍රේමදාස මහත්තය කියන්නෙ ඒ ඉල්ලුම ගැන හිතලද?

එතුමට පුළුවන්කමක් ඇති, ප්‍රේමදාස මහත්තයත් වැඩ කරල පෙන්නපු කෙනෙක් . එතුමගෙ පුතානෙ මේ.

ආණ්ඩුව ලක්ෂ හයකට සමෘද්ධිය දුන්නා. මේ කියන්නෙ රටේ දුප්පතුන් වැඩිවෙලා කියලද?

සමෘද්ධි ව්‍යාපාරය දේශපාලනීකරණය වුණා. ප්‍රේමදාස මහත්තය 1989 ගෙනාපු ජනසවිය තමයි සමෘද්ධිය වුණේ එදා ජනසවිය තිබුණු අමාත්‍යාංශයෙ නියෝජ්‍ය ඇමැති මම. ජනසවිය පටන් ගත්තේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් . ජනසවිය දුන්නෙ මාස 24යි ඒ මාස 24 පෝෂණ මල්ලක් දුන්නා. ඉතිරි කිරීම් කළා. එතනින් පස්සෙ ඒ පවුලට තනිවම නැගිටින්න පුළුවන් තත්ත්වයට පත්කළා. ඊට පස්සෙ ජනසවිය දුන්නෙ නැහැ, ශක්තිමත් පවුලක් හැදුවා. සමෘද්ධිය කියන්නෙ රුසියාවේ තිබුණ හිඟන්නන්ගේ ක්‍රමය. මේක එස්. බි. දිසානායකගෙ ක්‍රමය. අවුරුදු 17ක් සහනාධාර මත යැපෙන පවුලක් මේ අය හැදුවෙ. එදා ඉඳන් අදවෙනකන් සමෘද්ධිය ගන්න අය ඉන්නවා. මහින්ද රාජපක්ෂට කඩේ යන සමෘද්ධි නියාමකව ස්ථීර කළෙත් නැහැ. ඉතින් සමෘද්ධිලාභිය ගැන මොන කතාද?

එහෙම තියෙද්දි මේ ආණ්ඩුවත් ලක්ෂ 06කට සමෘද්ධිය දීම හරිද?

අපි මේ ක්‍රමවේදය වෙනස්කරනවා. සමෘද්ධිලාභියා කාටවත් අත නොපා ජීවත්වෙන ක්‍රමයක් හදනවා. නුසුදුස්සො ගොඩක් මේ සමෘද්ධිය ඇතුළෙ ඉන්නවා. දිය යුතුම අයට සමෘද්ධිය දුන්නේ නැහැ.

මේ ආණ්ඩුව සංවර්ධන වැඩවලට මුදල් දෙන්නෙ නැහැ. සංවර්ධනය ඇනහිටල කියලත් චෝදනා එල්ලවෙනවා?

මේ ආණ්ඩුව තරම් සංවර්ධනයට මුදල් යොදවපු ආණ්ඩුවක් ඉතිහාසයේවත් නැහැ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය පටන්ගත්තා. පාසල් ගොඩනැගිලි යටිතල පහසුකම් ගුරුවරු කොච්චර දුන්නද? සෞඛ්‍ය ඇමතිතුමාට දොස් කිව්වට කොච්චර දේවල් කරල තියෙනවද? ඒ ඇමැතිතුමා සෞඛ්‍යයට කරපු දේවල් කිසිකෙනෙක් කරල නැහැ. එක මැතිවරණ කොට්ඨාසයකට රුපියල් ලක්ෂ හාරදාහ ඉක්මවල ගම්පෙරළිය යටතේ මේ අවුරුද්දෙ විතරක් දීල තියෙනවා. මහාමාර්ග අමාත්‍යාංශයෙ රන්මාවත් වැඩසටහන යටතේ රුපියල්මිලියන 80ක් දෙනවා. හයිරෝඩ් කියල වෙනම ව්‍යාපෘති කරනවා. මම මේ කියන්නෙ අපේ වැලිමඩ විතරක් කරන ඒවා. මේව නොදන්න පිස්සො මාධ්‍ය අල්ලගෙන බොරු ප්‍රචාර කරනවා.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තවමත් පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු මේ ආණ්ඩුව ගැන බරපතළ චෝදනා නඟනවා?

රතන හාමුදුරුවො අපේ ජාතික ලයිස්තුවෙ ඉන්නෙ. 2015 මේ ආණ්ඩුව ගේන්න උන්වහන්සේ වැඩ කොටසක් කළා. රතන හාමුදුරුවන්ගෙ ගමන ආන්දෝලනාත්මකයි. උන්වහන්සේ කියන දේ ප්‍රායෝගික නැහැ. ග්ලයිෆොසේට් නැවැත්තුවා. උඩරට වතුකරයට ලොකු බලපෑමක් එල්ල වුණා. අපේ ප්‍රදේශයෙන් ග්ලයිෆොසෙට් නිසා වකුගඩු අමාරුව හැදුන කියල කවුරුවත් නැහැ. වියලි කලාපයේ ඒ ගැන ප්‍රශ්න ඇති. ග්ලයිෆොසෙට් ප්‍රශ්නය නිසා වතුකරය තනිකරම කැලේ වැවුණා. ඒ වගේම තමයි අනෙක් කාරණා ගත්තත්. විජයදාස රාජපක්ෂමහත්තය එහාට මෙහාට කීසැරයක් ගියාද? දැන් ආයෙත් කෑගහනවා. එතුමා මහින්ද රාජපක්ෂමහත්තය දාල ආවෙ ඇයි කියල කිව්වනෙ. ලැජ්ජනැතුව. දැන් ආයෙත් එතෙන්ට රිංගුවට අපි මොකද කරන්නෙ?

අලගොවියන්ට මුදල් නොගෙවීම ගැන චෝදනා එල්ල වෙනවා. අල ගොවියන්ගෙ මැසිවිලි ගැන මොකද කියන්නෙ?

අපට අවශ්‍යවුණේ ස.තො.ස ආයතනය හරහා අල ගොවියගෙ අස්වැන්න අරගන්නව දකින්න. ස.තො.ස ඒ වෙලාවෙ ඒකට මැදිහත් වුණේ නැහැ. පාරිභෝගික සමූපකාර සමිතිය අලගොවියගෙ අලගන්න මැදිහත් වුණා. දවසකට අල ටොන් දෙසීයක් විතර ඒ අය මිලදී ගත්තා. ඒත් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ඒ අයගාව තිබුණෙ නැහැ. අලවර්ග කීපයක් තියෙනවා. සමහර අලවර්ග කල්තියාගන්න බැහැ. මේ අලටික නරක් වුණා. මේ නිසා ලොකු අලාභයක් වුණා. මහා භාණ්ඩාගාරය දීපු මුදල්වලට අමතරව ඉතිරි මුදල්ටික වෙළෙඳ අමාත්‍යාංශයට දෙන්න කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. තව රුපියල් මිලියන 20ක් විතර ඒ අයට ලැබෙනවා. ඊටපස්සෙ ගොවියන්ට ඒ මුදල් ලැබෙයි.

ඡායා-සසන්ක අබේකෝන්

නව අදහස දක්වන්න