සසුන් කෙත බබළවන විමලරතන හිමි | දිනමිණ

සසුන් කෙත බබළවන විමලරතන හිමි

කම්මට්ඨාචාර්ය, ශාස්ත්‍රපති, සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන රන්පත්විල විමලරතනාභිිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් යන සිවුකෝරළේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිිදුම් ලැබීම නිමිත්තෙනි.

රජරට වැව්බැඳි රාජ්‍යයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු උඩ්ඩියන්කුලම නැඟෙනහිර කනදරා කෝරළේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාසයේ පිහිටි ”රන්පත්විල” ඓතිහාසික ගම්මානයක් බවට පත්වන්නේ එදා දුටුගැමුණු මහරජතුමන්ට මහාථූපය ඉදිකිරීම සඳහා අවශ්‍ය රත‍්රන් ලබාදීම පිළිබඳව පැවසෙන පුරාවෘත්තයත් සමඟය. අනුරාධපුර-ත්‍රිකුණාමල ඒ 12 ප්‍රධාන මාර්ගයේ 104-106 කිලෝමීටර් කනු මැදිවන සේ උතුරට හා දකුණට විහි දී යන වර්ග කිලෝමීටර් 12 ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත භූමියක පිහිටා තිබෙන රන්පත්විල විශාල ගම්මානයකි. ගමේ පෞරාණික බවට සාක්‍ෂි දරන පුරාවිද්‍යාත්මක සාධක බොහොමයකි.

ඉපැරැණි විහාරාරාමවල නටබුන්වලට අමතරව රජමාලිගාවක නෂ්ටාවශේෂ දක්නට ලැබීමෙන් රන්පත්විල ගමේ ඉපැරැණි බව හා සුවිශේෂත්වය පසක් කරගත හැකිය. ගමේ සශ්‍රීකත්වය ප්‍රකාශ කෙරෙන ප්‍රධාන වැව හා පරිවාර වැව් හතක් යටතේ කුඹුරු අක්කර 1500ක් පමණ වගා කෙරේ. රන්පත්විල ගම ආගමික හා ජාතික විවිධත්වයට නෑකම් ඇති බවට ගමේ පිහිටි පන්සල, පල්ලිය හා කෝවිල හොඳම සාක්‍ෂියකි. 1958 පෙබරවාරි මස 25 වන දින රන්පත්විල ගම්මානයට සූර්යෝදාව සිදුවන්නේ චන්ද්‍රසේකර මුදියන්සේලාගේ ජයවර්ධන කුල කුමරුවාගේ ජන්ම ලාභයද සමඟය. චන්ද්‍රසේකර මුදියන්සේලාගේ නංහාමි පියාණන්ගේ හා මැණික්රාළගේ පුංචි මැණිකා මෑණියන්ගේ කුටුම්බ ජීවිතයට දායාද වූ මිණි පහනක් වන් මේ පුත් කුමරා මූලික අධ්‍යාපනය රන්පත්විල කනිෂ්ඨ විද්‍යාලයෙන් (වර්තමානයේ රන්පත්විල නවෝද්‍යා පාසලෙන්) ලබාගත්තේය.ජන්මයෙන්ම වාසනා ගුණයත් පුණ්‍ය බලමහිමයත් උරුම කරගත් බැවින් ජයවර්ධන කුල කුමරු දොළොස්වන වියේ දී වවුනියාව, මඩුකන්ද ශ්‍රී දළදා විහාරයෙහි ආධිපත්‍යය දරමින් වැඩසිටි ගෞරවාර්හ පාලිප්පොතානේ ධම්මරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ වෙත යොමුවන්නේ ප්‍රවෘජ්‍යාවට පිවිසීමේ අරමුණෙනි.

පුරා වසර දෙකක් ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ පා සෙවනෙහි බණ දහම් හදාළ හෙතෙම තවත් කුල දරුවන් තිදෙනකු සමඟ මැදවච්චිය, කිරිගල්වැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පාලිප්පොතානේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේ තච්ජිෂ්‍ය පදවි ශ්‍රීපුර රාජමහා විහාරාධීශ්වර පිහිඹියගොල්ලෑවේ ධම්මාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තච්ජිෂ්‍ය ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද කුරුඳුගොඩ රතනසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යන තෙනමගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1970 නිකිණි මස 17 වන දින සම්බුදු සසුනෙහි රන්පත්විල විමලරතන නමින් සාමණේර ප්‍රවෘජ්‍යාවට පත් වූයේය. ශාසනික වත් පිළිවෙත් හා මූලික බණ දහම් සාමණේර ප්‍රවෘජ්‍යාව ලබා ගන්නා විටත් හදාරා තිබුණ ද ධම්මරතන මාහිමිපාණන්වහන්සේගේ අරමුණ වූයේ තම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට ඉතා උසස් ආකාරයෙන් පැවිදි අධ්‍යාපනය ප්‍රගුණ කරවීමයි. ඊට හේතු වූයේ උන්වහන්සේගේ ආධිපත්‍ය යටතේ පවත්නා විහාරස්ථාන ල දායකකාරකාදීන් මුහුණ දෙන බොහෝ දුෂ්කරතාවලට පිළියම් කළ හැකි සංඝ පරම්පරාවක් තැනීමේ අභිලාසයයි. ඒ අනුව උන්වහන්සේ කුරුණෑගල, වෑගම රත්මලේ රතනසේල පිරිවෙණට ඇතුළත්ව මූලික පැවිදි අධ්‍යාපනයත් අනතුරුව නුගේගොඩ, ගංගොඩවිල ශ්‍රී සුබද්‍රාරාම මහ පිරිවෙණින් විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාත් අධ්‍යාපනය හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට 1985 වසරේ දී ඇතුළු වීමට සමත් වූහ.

සුබද්‍රාරාම මහ පිරිවෙණේ අධ්‍යාපනය හදාරන අවධියේදීම බණ දහම් කීමෙහි හා භාවනා වැඩසටහන් මෙහෙයවීමෙහි පරිචය ලබා සිටි විමලරතන හිමිපාණෝ දායක දායිකාවන් අතර ආගමික වැඩසටහන් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියහ. බණ දහම් දේශනා කිරීමේ චතුර කථිකත්වයක් ඇති උන්වහන්සේ සිය අධ්‍යාපන කටයුතු වලටද බාධාවක් නොවන පරිදි ආගමික මෙහෙවරෙහි නිරතවීම උන්වහන්සේගේ ජාතික හා ශාසනික සේවාවන්ට පන්නරය ලැබුණු කාරණයක් විය. පිරිවෙන් අධ්‍යාපන කාලයේ දීම 1980 ජූනි මස 25 වන දින මල්වතු මහා විහාරයේ දී අධිශීල ශික්‍ෂාසංඛ්‍යාත උපසම්පදාව ලබාගත් විමලරතන හිමිපාණෝ තමන් ප්‍රවෘජ්‍යාවට පත් වූ කිරිගල් වැව ශ්‍රී බෝධි රාජාරාම විහාරස්ථානයට වැඩමවා එහි භෞතික සම්පත් වැඩි දියුණු කිරීමට ක්‍රියා කළා පමණක් නොව ගමේ තරුණ දරු දැරියන් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් කරවීම සඳහා කිරිගල්වැව මහා විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු වශයෙන් වසර දෙකක් සේවය කළහ. එම කාලය තුළ උන්වහන්සේ මඩුකන්ද ශ්‍රී ධම්මරතන පිරිවෙණේ ධර්මාචාර්යවරයකු වශයෙන්ද සේවය කළහ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා කොළඹට වැඩම කිරීමට සිදුවූ බැවින් උන්වහන්සේට ඒ කටයුතුවල අඛණ්ඩව නිරත වීමට නොහැකි විය. විහාරස්ථානයේ දියුණුවටත් ගමේ තරුණ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමටත් තරුණ යතිවරයන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේ කෙටි කලක් තුළ ගත් එම උත්සාහය මල්ඵල ගැන්වුණු බව අදටත් බොහෝ දෙනා සිහිපත් කරන්නේ කෘතවේදිත්වයෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශන විෂය සඳහා විශේෂ ශාස්ත්‍රවේ දී උපාධිය 1991 වර්ෂයේ දී හිමිකරගත් උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් 1994 වර්ෂයේ දී ශාස්ත්‍රපති උපාධිය සඳහා විශිෂ්ට සාමර්ථයක් ලබා ගැනීමට සමත් වූහ. උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ජාතික හා ශාසනික මෙහෙවර සඳහා උන්වහන්සේ අගනුවර වැඩ සිටිමින් ලද ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනයත් අත්දැකීම් සමුදායත් මහඟු පිටු බලයක් විය. පානදුර, පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර පිරිවෙණේ ධර්මාචාර්යවරයන් වහන්සේ නමක ලෙස පත්වීමක් ලබා වසර දෙකක් කටයුතු කළහ. ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍රකරගෙන තමන් වහන්සේ ආරම්භ කළ ශාසනික සේවාවන් සඳහා පහසුව සලසා ගැනීම පිණිස උන්වහන්සේ කැස්බෑව ශ්‍රී නන්දන පිරිවෙණට වැඩමකර එහි වසර 22ක් වැනි දීර්ඝ කාලයක් සේවය කරමින් පරිවේණාධිපති ධුරයද හෙබවූහ. කැස්බෑව නන්දන පිරිවෙණේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ අතර අපේ පරිවේණාධිපති හාමුදුරුවෝ නමින් ප්‍රකට වූ උන්වහන්සේ පිරිවෙණේ දියුණුව සඳහා විශාල සේවයක් සිදු කළහ. මෙම කාලය තුළදීම උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ සමස්ත ලංකා භාවනා උපදේශක ස්වාමින්ද්‍රයන් වහන්සේ වශයෙන් පිරිවෙන් සිසුන් සඳහා භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ උදෙසා භාවනා වැඩසටහන් මෙහෙයවීමටත් සිය කාලය හා ශ්‍රමය කැප කළහ. ශාසනික උන්නතිය සඳහා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දහනමක් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් කර උන්වහන්සේලාට අධ්‍යාපනය ලබා දෙමින් සිදුකර ඇති සේවාවද උන්වහන්සේ වැඩ සිටින ශ්‍රී නිලංකා බෞද්ධ මධ්‍යස්ථාන විහාරයට අමතරව හල්පිට ශ්‍රී විමලාරාමය හා බෝපේ උඩගම්කන්ද ශ්‍රී සදහම් සෙනසුන් විහාරය ගොඩ නැ‍ඟීමේ දී හා එම දායකකාරකාදීන්ගේ කටයුතු කිරීමේ දී උන්වහන්සේ විසින් ඉටු කරනු ලබන සේවාවද අනුස්මරණීය වේ.

මෙවන් උදාර ජාතික, ශාසනික හා සමාජ සේවාවන් රැසක් ඉටු කරනු ලබන කම්මට්ඨාචාර්ය, ශාස්ත්‍රපති, රන්පත්විල විමලරතන ස්වාමින්ද්‍රයන්වහන්සේට සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන යන ගෞරව නාමය සහිතව රයිගම් සල්පිටිහේවාගම් පස්යොදුන් යන සිවුකෝරළේ උප ප්‍රධානඅධිකරණ සංඝ නායක පදවිය මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශද් වර්ගික සානුනායක කාරක මහා සංඝ සභාව විසින් පිරිනමා තිබේ. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අද (12) දින මල්වතු මහා විහාරයේ දී සිදු කෙරෙයි.

මහාචාර්ය මුවඇටගම ඤාණානන්ද හිමි

නව අදහස දක්වන්න